හෙළ සිනමාවේ බිහි වූ විශිෂ්ටතම අධ්යක්ෂවරුන් කිහිපදෙනාගෙන් ප්රබලයෙකු වන අභාවප්‍රාප්ත වූ සිනමාවේදී වසන්ත ඔබේසේකරයන් සිංහල චිත්‍රපට 13ක් අධ්යක්ෂණ කර ඇත. 'වෙස් ගත්තෝ' (1970), 'වල්මත්වූවෝ' (1976), 'දියමන්ති' (1977), 'පළගැටියෝ' (1979), 'දඩයම' (1980), 'මාරුතය' (1985), 'කැඩපතක ඡායා' (1989), 'දොරකඩ මාරාව' (1998), 'තීර්ත යාත්‍රා' (1999), 'සලෙළුවරම' (2002), 'අසිනි වර්ෂා' (2005), 'සෙව්වන්දි' (2006), 'ආගන්තුකයා' (2007) එම චිත්‍රපට දහතුනයි.
වල්මත්වූවෝ චිත්‍රපටයට සංගීතවේදී සෝමදාස ඇල්විටිගල සංගීතවත් කළ පණ්ඩිත් අමරදේවයන් ඇතුළු පිරිස ගැයූ,
'මලින් මලේ රොන් පොපියන
රඟන බඹර ජීවිතේ
කප්තුරු හිස – දළුලියලන
නව යෞවන ජීවිතේ
අපට උරුම නැත
නාඬන් හදවත'
ගීතයත්, 'දියමන්ති' චිත්‍රපටයේ සංගීතඥ ඩී.ආර් පීරිස් සංගීතවත් කළ ආචාර්ය වික්ටර් රත්නායකයන් ගයන,
'ගිගිරි ගීත රාවේ…
මලවි හී සරේ
සබඳ අද කිමදෝ…
ඹමන ලෝකෙට කෑ ගසා'
ගීතයත්, එම චිත්‍රපටයටම නන්දා මාලනී ගැයූ,
'යොවුන් වසන්තයේ
දුහුල් වළාකුළේ
රෑන් මුදාගෙන
පාවී යනු මැන ඉගිල්ලිලා'
ගීතයත්, අතිශයින්ම ජනප්‍රිය විය. ඩී.ආර්පීරිස් විසින්ම සංගීතවත් කළ 'පළගැටියෝ' චිත්‍රපටයට විශාරද සුජාතා අත්තනායක සහ ආචාර්ය වික්ටර් රත්නායක ගැයූ,
'මල් පිපුණට ලොව මල් කුමටදෝ
ඔබ ඇති තැන වෙනමල් කුමටදෝ
හිරු සඳු මන්දෝ
ඔබ ඇති තැනමට
මාගේ හදවත් අහස් ගැබේ
ඔබ මගේ හිරු සඳු වේ සදා'
ගීතය චිත්රපටයකදී අතරමැද නවතින ප්‍රථම ගීතය බවටද පත්විය. එම චිත්‍රපටයේදී තම පෙම්වතා (රන්ජන් මෙන්ඩිස්) පිළිබඳව සිතමින් සිහින ලොවක තනිවන දම්මි ෆොන්සේකා තම සැමියා (ධර්මසිරි බණ්ඩාරනායක) නිවසට පැමිණෙන බව දැනී සිහින දැහැනෙන් මිදෙන අන්දම ප්‍රේක්ෂකයාට සමීප කළේ අධ්යක්ෂ වසන්ත ඔබේසේකර විසින් ගීතය අවසන්වීමට ප්‍රථම ක්ෂණික ඡේදනයක් කිරීමෙනි.
එම ආතතිය තීව්ර කිරීම සඳහා දම්මි ෆොන්සේකාගේ මුවට ඇතුළු කිරීමට යුහුසුළු වන චොක්ලට් ස්ලැබ් එකේ කොටසක් ඇගේ උකුලට වැටෙන අන්දමද ඔහු රූපයටද නගා තිබුණි.
'පළඟැටියෝ' චරිත ප්‍රවේශය පිළිබඳව තම මතකය ආවර්ජනය කරන ජ්‍යෙෂ්ඨ කලාකරු ධර්මසිරි බණ්ඩාරනායක මහතා මෙසේ ප්‍රකාශ කළේය.
''වසන්ත 1977 වසරේ අවසාන භාගයේ දවසක මගේ 'ඒකාධිපති' නාට්‍ය නරඹන්න ආවා. ඇවිත් තිබුණේ ඔහුගේ අලුත් චිත්‍රපටය වූ 'පළඟැටියෝ' චිත්‍රපටයට නළුවෙක් තෝරාගන්න. එහි ප්‍රධාන චරිතයට ගැළපෙන නළුවා මමයි කියන විශ්වාසය මත තමයි ඔහු එදා ලයනල් වෙන්ටඩ් එකට ඇවිත් තිබුණෙ. දර්ශනය අවසන් වුණාට පස්සේ ඔහු මට ඇවිත් කිව්වා 'පළඟැටියෝ' චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට මා තෝරා ගත් බව.
ඒ වෙලාවේ මට කියා ගන්න බැරි සතුටක් ඇතිවුණා. 'බක්මහ දීගේ' (1969) හැරුණු කොට වෙනත් චිත්‍රපටයක ඒ වෙනකොට මම රඟහල තිබුණෙ නැහැ. වසන්ත ඔබේසේකරගේ චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් රඟපාන්න ලැබෙනවා කියන්නෙ මට හීනයක්. ඔහුගේ ඇරයුමෙන් චිත්‍රපට තිරනාටකය රැගෙන ඇවිත් කියෙව්වා. මේ චරිතය මට රඟපෑම් අවස්ථාව හැබෑවටම ලැබේවේදැයි කියන අවිශ්වාසය මගේ හිතේ නිබඳවම පැවතුණා. අවසාන මොහොතේ මෙම චරිතය රඟපෑම මගෙන් ගිලිහේවිදැයි යන අවදානමක් හිතේ නලියන්න වුණා.
'පළගැටියෝ' ඉතාම පරිපූර්ණ තිර රචනයක්. එවැනි පරිපූර්ණ තිර රචනයක් මම කියෙව්වේ පළමුවැනි වතාවටයි. රඟපෑමට අවශ්‍ය සියලුම උපදෙස් එහි අඩු නැතුව තිබුණා. ලැබුණු චරිතය පිළිබඳව මම සතුටින් හිටියට වසන්ත නිතරම කියපු දෙයක් තමයි මට ගැළපෙන නිළියක් තවම සොයා ගැනීමට නොහැකි වූ බව. එක දවසක් ඔහු මට කිව්වා, 'උඹට ගැළපෙන නිළියක් හොයාගන්න බැරිවුණොත්, උඹේ චරිතෙට රවීන්ද්‍ර රන්දෙණිය දාලා නිළිය හැටියට ගීතා කුමාරසිංහ ගන්නවා' කියලා.
ඒක ඇහුවම මට ලොකු දුකක් දැනුණා. නැවත ඊට මාසෙකට පසු කැඳවීමක් ලැබුණා රියසල් එකකට එන්න කියලා. එතැනදී මට දැනගැනීමට ලැබුණා එහි කැමරා ශිල්පී ඇන්ඩ_ ජයමාන්න අලුත් නිළියක් රැගෙන පැමිණ ඇති බව. අපි දෙන්නා එකට දාලා කරපු ස්ක්‍රීන් ටෙස්ට් එක සාර්ථක වුණා. ඇය තමයි මාත් එක්ක චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑ දම්මි ෆොන්සේකා.
වසන්තගේ අධ්‍යක්ෂණයේ රංගන විධානය දැඩියි. තමා අරමුණු කරගත් චරිතයට අවශ්‍ය ගති සොබා මතුවනතෙක් රංගන ශිල්පියාගෙන් රංගනය ලබාගැනීම ඔහුගේ වෑයමයි.
තිස්ස අබේසේකරගේ තිර රචනා සාහිත්‍යමය තිරනාටක ගණයටත්, වසන්තයේ තිර රචනා කාර්මික තිරනාටක ගණයටත් අයත් වුණා.
පිටුව දෙකට බෙදා රූපයෙන් තිරය මත දකින දෙය එක් පැත්තකත්, ශබ්දපටය සහ ඊට අදාළ තොරතුරු අනෙක් පැත්තෙත් සටහන් කරන ලද කාර්මික තිරනාටකය සිංහල සිනමාවට හඳුන්වා දුන්නේ ඔහු. 'පළගැටියෝ' සමග සම්බන්ධ වීමෙන් තිරනාටක ලියන අන්දමත්, චිත්‍රපට අධ්‍යක්ෂණය කිරීමේ අධ්‍යාපනයත් මට වසන්ත ඔබේසේකරයන් නිසා ලැබුණා. 'හංසවිලක්' චිත්‍රපටය මා අධ්‍යක්ෂණය කළේත්, එහි තිරනාටකය මම රචනා කළේත් එම දැනුම උපයෝගී කරගෙනයි.
වසන්ත ඔබේසේකරයන් අධ්‍යක්ෂණය කළ 'දොරකඩ මාරාව', 'සලෙළුවරම', 'අසනි වර්ෂා', 'සෙව්වන්දි' සහ 'තීර්ත යාත්‍රා' යන චිත්‍රපට පහේම කැමරා අධ්යක්ෂවරයා වූ ජයනාත් ගුණවර්ධන මහතා ඔහු සමග එක්වී කළ සිනමා නිර්මාණ අත්දැකීම් මෙසේ හෙළිදරව් කළේය.
''වසන්ත ඔබේසේකර මහතා හැමවිටම හිතුවේ චිත්‍රපටයේ කැමරා අධ්යක්ෂවරයා චිත්‍රපට අධ්යක්ෂවරයාගේ දකුණු අත ලෙසයි. ඔහුගේ චිත්‍රපට වෙනුවෙන් ඔහුට පොල් තෙල් පහන පත්තු කරන්න වුණ සෑම අවස්ථාවකම ඔහුට පස්සේ පොල් තෙල් පහන පත්තු කරන්න මාව කැඳවනවා. ඒක ඔහුගේ මා දුටු විශේෂ දෙයක්. මම කැමරා අධ්‍යක්ෂණය කරපු චිත්‍රපට පහ ඇතුළුව ඔහුගේ නිර්මාණ බොහොමයකට පාදක වුණේ අප රටේ සිදු වූ සත්‍ය කතා. ඔහු අංග සම්පූර්ණ තිරනාටකයක් සහිතව සිනමා නිර්මාණයට යොමු වන අධ්යක්ෂවරයෙක්.
සත්‍ය කතා තෝරාගත්තත් එම කතාවෙන් ඔබ්බට ගොස් සිනමාත්මක තිරනාටකයක් සකස් කරන්න ඔහු සැමවිටම වගබලා ගත්තා.
මුල මැද අග සහිත සම්ප්‍රදායික කතා කලාවෙන් බැහැර වී අග මුල මැද මිශ්‍ර කොට සකසන ලද ස්ථර (Layers) සිනමා කලාව ව්‍යක්ත ලෙස භාවිත කළ කෙනෙක් ඔහු. මම කැමරා අධ්‍යක්ෂණය කරපු 'දොරකඩ මාරාව' චිත්‍රපටයේදී මෙය බහුලවම භාවිත කළා.
තිර නාටකයේ සඳහන් ඇතැම් රූගත කිරීම් වලදී කැමරා ශිල්පියාවන මට අභියෝගාත්මක වන අවස්ථා මම පැහැදිලි කළ වහාම වටහා ගැනීමේ ක්ෂණික ඉවක් සහ දැනුමක් ඔහුට තිබුණා. එම අභියෝගය විසඳා ගැනීමට ගත යුතු ඊළඟ පියවරත් ක්ෂණිකව අවබෝධ කර ගැනීමේ අපූරු ගුණයක් ඔහුට තිබුණා. එය කැමරා ශිල්පියෙකුට විශාල පහසුවක්.
'දොරකඩ මාරාව' චිත්‍රපටයට පාදක වුණේ මාරගහක තම වාහනය හැප්පිලා මිය ගිය අලුත විවාහ වුණ ජෝඩුවක කතාවක්. දොරකඩ මාරාවේ ප්‍රධානම දේ වුණේ මාරගහ. ඒක චිත්‍රපටයේ චරිතයක් වගේම වුණා. මට තිරනාටකය කියවන්න දුන්නට පස්සේ කරන ලද සාකච්ඡාවේදී ඔහු මට කිව්වේ මේක තමයි මාරයා. මේ මාරගහ මූසල මාරක මාර ගහක් විදියට චිත්‍රපටයේදී අපි පෙන්වන්න ඕන බව.
මම කිව්වා එහෙම නම් ඒකට ගැළපෙන මාර ගහක් අපි හොයාගන්න ඕන කියලා. ඇත්ත සිද්ධියටඅදාළ මාර ගහ මේකට ගැළපුණේ නැහැ. චිත්‍රපටයට ගැළපෙන ගහසොයාගෙන අපි කිලෝමීටර් තුන් හාරසියයක් ඇවිද්දා. මෙහි සත්‍ය කතාවට අදාළ මාරගහ තිබුණේ නුවර පාරේ ඉඹුල්ගොඩ. චිත්‍රපටයට ගැළපෙන මාරගහ හමුවුණේ නාරම්මලදී. නැවතත් චිත්‍රපටය බැලුවොත් තේරේවි එම මාරගහ මූසල යක්ෂයෙක් වගේ බලාගෙන ඉන්න ගතියක් චිත්‍රපටයේ ඇති බව. ඊට ගැළපෙන අන්දමට මම ආලෝකය ගැළපෙන පරිදි හසුරුවා රූපගත කළා.
නළු නිළියන් ඇතුළු ප්‍රධාන කාර්මික පිරිසට රූගත කිරීමට සතියකට පෙර ඔහුගේ තිරනාටකය වටහා දීමේ සාකච්ඡාවක් තියෙනවා. ඔහුගේ සිනමාවේදීනළු නිළියන්ට හිතුමතේ චරිත වලට ප්රවිශ්ට වෙන්න බැහැ. ඔහුට චරිතය තුළින් මතුකරන්න ඕන දේ එම සාකච්ඡාවේදී පැහැදිලි කළාම රූපගත කිරීමේදී මතුවන්නේ ඔහුට අවශ්‍ය රංගනයයි. ඔහු ළඟ තිබූ විශේෂම දෙයක් තමයි නිෂ්පාදකවරයා රැකගැනීමට තිබූ අවශ්‍යතාව.''
වසන්ත ඔබේසේකරයන් පිළිබඳව ප්‍රවීණ නිළි සංගීතා වීරරත්න මෙසේ අදහස් දැක්වූවාය.
''මම තමයි ඔහුගේ චිත්‍රපට වැඩිම ගණනක ප්‍රධාන චරිතය කරපු රංගන ශිල්පිනිය. 'මාරුතය', 'දොරකඩ මාරුව', 'සළෙළු වරම', 'සෙව්වන්දි' එම චිත්‍රපට හතරය. මම රඟපාන්න ආපු පළමු වසරේදීම තමයි මට 'මාරුතය' චරිතය ලැබෙන්නෙ. අපි චිත්‍රපටය රූගත කිරීමට පෙර මාස තුනක් 'ස්ක්‍රිප්ට් රීඩිං' කළා.
එම කියවීමෙන් එම චරිත පිළිබඳ අධ්‍යයනය චිත්‍රපටයේ ස්වරූපය පිළිබඳව හොඳ අවබෝධයක් මෙන්ම අධ්‍යක්ෂකවරයාට රංගන ශිල්පිනියක් හැටියට ලබාදිය යුතු රංගනය පිළිබඳව මනා වැටහීමක් ලැබුණා. එමෙන්ම එය අපේ ජීවිතවලටත් අලුත් අත්දැකීම් එකතු කරපු කාලයක් වුණා.
රංගන ශිල්පිනියක ලෙස මා යායුතු දිශාව ඔහුගෙන් ඉගෙන ගැනීමටත් මම වාසනාවන්ත වුණා. සිනමාවේදී ඔහු කාලය හා අවකාශය භාවිත කරපු අන්දම විශිෂ්ටයි.''
වසන්ත ඔබේසේකරයන්ගේ 'දොරකඩ මාරාව', 'තීර්ත යාත්‍රා', 'සලෙළු වරම', 'සෙව්වන්දි', 'ආගන්තුකයා' යන චිත්‍රපටවල සංගීත අධ්‍යක්ෂකවරයා වූ ආචාර්ය රෝහණ වීරසිංහයන් මෙසේ තම අදහස් ප්‍රකාශ කළේය.
''චිත්‍රපට පහට අමතරව 'විශ්මිත කතා', 'ඉඳුරු දොර හා තිමිර පවුර' ටෙලි වෘත්තාන්තවල සංගීත අධ්‍යක්ෂණයත් මම කළා. වසන්ත ඔබේසේකරයන් චිත්‍රපටයට සංගීතය යොදාගන්නෙ අවශ්‍යම අවස්ථාවක පමණයි. චිත්‍රපටය අධ්යක්ෂවරයාගේ කෘතියක් බවත්, ඔහුගේ අරමුණට එකඟව හා යටත්ව සිනමා සංගීතයට ප්‍රවිෂ්ට විය යුතුයි කියන අරමුණේ තමයි මම ඉන්නෙ. සංගීතය පැත්තට ගොඩාක් නැඹුරු චිත්‍රපටවලට යොමුවෙලා හිටපු මම පිළිබඳව ඔහුට යෝජනා කරලා තියෙන්නෙ රවීන්දු ගුරුගේ.
මුලින්ම මට සංගීතවත් කරන්න ලැබුණෙ ඒඩ්ස් රෝගීන් පිළිබඳව නිර්මාණය කළ 'ඉඳුරු දොර' කොටස් හයක ටෙලිනාට්‍යයි. ඔහු මා පිළිබඳව කිසිවක් දැනගෙන ඉඳලා නැහැ. මගේ පළමු පටිගත කිරීම බලාගෙන හිටපු ඔහු හිටිහැටියේම අතරමැද නැගිටලා ගියා. මම මගේ වැඩෙත් නැවැත්තුවා. ටික වෙලාවක් බලාගෙන හිටියා ඔහු නැවත පැමිණියේ නැහැ.
පස්සේ මම රවීන්ද්‍ර ගුරුගේට කතා කළාම කිව්වා කිසි ප්‍රශ්නයක් නැහැ මිස්ටර් වසන්ත ඔයාගේ වැඩ ගැන ඉතාම පැහැදීමකින් එළියට ඇවිත් තියෙන්නෙ, දිගටම වැඩේ කරගෙන යන්න කියලා. එතැන තමයි ඔහුගේ චිත්‍රපට පහකම මට සංගීත අධ්‍යක්ෂණය කරන්න ලැබුණු 'ටර්නිං පොයින්ට් එක'
වසන්ත ඔබේසේකරයන්ගේ චිත්‍රපට රංගනයෙන් සම්මානයට පාත්රවූ ප්‍රවීණ නළු සනත් ගුණතිලක විග්‍රහය මෙසේ විය.
'ඔහුගෙන් රංගන ශිල්පියාට ලැබෙන අභියෝගය වන්නේ කෘතිය තුළ ඔහු බලාපොරොත්තු වන චරිතය ජීවත් කරවීමයි. 'කැඩපතක ඡායා' මගේ චරිතය විග්රහ කරද්දී ඔහු මට පැහැදිලිවම ප්‍රකාශ කළා විජය කුමාරතුංග සහ ස්වර්ණා මල්ලවආරච්චි චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ලෙස රංගනයේ යෙදුණත් කෘතියට අදාළව චිත්‍රපටයේ චරිත බද්ධ කරන ප්‍රධානතම පුරුක වන්නේ මම මැව් යුද්ධ හමුදා සොල්දාදුවාගේ චරිතය බව.
'දොරකඩ මාරාව' චරිතයට මගේ සිරුරේ බර අඩුකර ගන්න තෙක්ම එම චරිතයට මාව තෝරා ගත්තේම නැහැ. ඔහුගේ මෙම චරිත ගොඩනැගීම මෙම සත්‍ය සිදුවීමට භාජනය වූ චරිත පසුබිම සොයාගෙන අදාළ නිවෙස්වලට ගොස් බොහෝ තොරතුරු සොයාගෙන තිබුණා. එම කතාවට අදාළ යුවළගේ විවාහ උත්සවයේ සහ දෙවැනි ගමනේ VHS වීඩියෝ පටපවා ඔහු ලබාගෙන තිබුණා.
එම චරිතවල සියුම් හැඟීම් වටහා ගැනීමටත් එම චරිත විශ්වාසනීය අයුරින් ගොඩ නැගීමටයි ඔහු ඒ දේ කළේ. මමත් ඒවා නැරඹුවා. මීට මාස දෙකකට ඉස්සෙල්ලා එක කාන්තාවක් හම්බවෙලා මට කිව්වා, 'දොරකඩ මාරාව' කියන්නෙ අපේ සහෝදරයෙක්ගේ කතාවක්. ඔයා එම චරිතය හොඳට කරලා තිබුණා. මගේ සහෝදරයන් හඳ දිහා බලාගෙන නිදා ගන්න ආසයි. ඔයත් ඒ දේ ඒ විදිහටම චිත්‍රපටයේදී කරනවා. ඒ සහෝදරයාගේ ගති ලක්ෂණත් එම චරිතයේ තිබුණා. හැබැයි අපේ කතාව චිත්‍රපටයකට හැදුවට අපි හැමෝම ඕගොල්ලො එක්ක තරහයි' කියලා.
වසන්ත ඕබේසේකරයන් චරිත විග්‍රහය සඳහා කොතෙක් දුර යනවාදැයි එය හොඳම උදාහරණයක්. 'අසනි වර්ෂා' චිත්‍රපටයේ දේශපාලඥයෙක්ගේ කුඩා චරිතයක් දුන්නා. එම හේතුව නිසාම 'ආගන්තුකයා' චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වූ දේශපාලඥයාගේ චරිතය මට ලබාදීමෙන් වැළකී සිටින්නට ඔහු අරමුණක හිටියා. මොකද මම පෙරකළ 'අසනි වර්ෂා' දේශපාලඥයාගේ චරිතයට නැවත ප්‍රතිනිර්මාණය කරාවි කියලා හිතලා. හැබැයි කාලයකට පස්සෙ ඔහු මට එම චරිතය ලබාදුන්නා.
ඔහු පිළිබඳ අනුවේදනීය කතාව මට කිව්වේ ඔහුගේ දියණිය කණිෂ්කා. සර්වණ සංඛ මුදල් ත්‍යාගය දුව අරගෙන ගිහිල්ලා තාත්තට පෙන්නුවාම ඔහු කියලා තියෙනවා, මම දැන් ගමනක් යන්න ඉන්නෙ. ඕව පෙන්නුවහම ඕනෑම මනුස්සයෙකුට පොඩි ආශාවක් ඇතිවෙනවා. ඒ නිසා ඕව මට දැන් පෙන්වන්න එපා කියලා. බලන්න ඔහු කළ එම ප්‍රකාශය ජීවිතය පිළිබඳව කෙතෙරම් ශ්‍රේෂ්ඨ වටහා ගැනීමක්ද කියලා.''
සටහන – පද්මකුමා පී. මෙත්තසේන
ada.lk