lan englan tam

පුවත්

ධර්මසිරි බණ්ඩාරනායක තම බුද්ධි ධනය යාපනයට දෙයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

පොත් කියවන්නෝ පොත්වලට ආදරය කරන්නෝ වෙති. ඒවා එක් කරමින් නිධානයක් වැනිව සුරකින්නෝද වෙති. එවන් වූ සිංහල සිනමාවේ සදා නොමැකෙන නාමයක් සනිටුහන් කරන ආචාර්ය ධර්මසිරි බණ්ඩාරනායකයන්ද එවැන්නෙකි.

නිධානයක් වැනිව සුරැකි සිය පොත් සහිත පෞද්ගලික පොත් එකතුවක් ඔහු සතුවද පැවතුණ අතර එම පොත් එකතුව සිය උපන්දිනය නිමිත්තෙන් යාපනය පුස්තකාලයට පරිත්‍යාග කිරීමට ඔහු පියවර ගෙන තිබිණි.
ඒ අනුව ඊයේ (17) සියතින් තම පෞද්ගලික පොත් එකතුව යාපනය පුස්තකාලයට පරිත්‍යාග කිරීම ධර්මසිරි බණ්ඩාරනායකයන් අතින් සිදු විය.
ධර්මසිරි බණ්ඩාරනායකයන් විසින් සිය පොත් එකතුව ප්‍රදානය කිරීමේ අවස්ථාවේ කළ ප්‍රකාශය දෙමළ බසට පරිවර්තනය කරමින් යාපනය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සාමිනාදන් විමල් පවසන විට එම අවස්ථාව නෙත් කඳුළු මතු කෙරෙන හැඟුම්බර වූවක් බව සාහිත්‍ය කලා විචාරක සිසිර කුමාර මහගම විසින් සඳහන් කරනු ලැබ තිබිණි.
යාපනය පුස්තකාලය ගිනි තැබීමේ වන්දිය ගෙවීමට සමාජයක් වශයෙන් අප තවමත් අසමත් වුවත් ඒ සඳහා තමා මෙතෙක් ආදරයෙන් සුරැකි පොත් එකතුව යාපනය පුස්තකාලය වෙත මෙසේ පරිත්‍යාග කරන වග එම ප්‍රකාශයෙහි අන්තර්ගතය වූ බව ඔහු සඳහන් කර තිබිණි.
සදාදර මිනිසකු වූ ඔහුට අපි චිර ජීවනය පතමු!

ඡායාරූපය පසුගිය යාපනය ජාත්‍යන්තර සිනමා උලෙළේදී ගත් එකකි.

Back to top
Go to bottom