ප්‍රවීණ ගායක අනිල් භාරතී පසුගිය ඉරිදා (26) සිය දැයට සමු දුන්නේය. ඒ වෙනුවෙන් එදින සිළුමිණ පුවත්පතේ මේ මිහිරිතම ගායකයා වෙනුවෙන් පළ කළ විශේෂාංගයක් පහතින් පළ කෙරේ.
‘බෙත්ලෙහෙම් පුරේ – දිළිඳු ගව ලෙනේ
ඔරුව තුළේ – සිසිලෙ නිඳයි
ජේසු බිලින්දා…’
හැම දෙසැම්බරයකම නොවැරදීම ඇසෙන ඒ ගී හඬ අපට හොඳින් හුරුපුරුදුය. අවුරුද්දට ඇසෙන කොවුල් නද මෙන් කනට හුරුපුරුදු මේ ගී හඬේ හිමිකරුවා ජනප්‍රිය ගායන ශිල්පි අනිල් භාරතීය. පසුගිය බදාදා (22) ඔහු අභාවප්‍රාප්ත වූ ආරංචිය ඔහුගේ රසිකයන් වෙත ගෙන ආවේ මහත් ශෝකයකි.
මිය යන විට 75 වැනි වියේ පසු වූ අනිල් භාරතී මෙරට සංගීත ක්ෂේත්රයේ දශක පහක් පුරා සිය දක්ෂතා පෙන්වූවෙකි.
පාණදුර ශ්‍රී සුමංගල විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හැදෑරු අනිල් පසුව කොළඹ වෙස්ලි විද්‍යාලයෙන් හා මොරටුව කුමාර විද්‍යාලයෙන් වැඩිදුර අධ්‍යාපනය ලැබීය. මුල් යුගයේදී රිචඩ් පීරිස් ආයතනයේ සේවය කළ ඔහු පසුව සිය ජීවිතය ගායනය වෙනුවෙන්ම කැප කළේය.
අනිල් භාරතීගේ සොහොයුරා කලක් ගුවන් විදුලි සංස්ථාවේ ඉංග්‍රීසි අංශයේ නිවේදකයකු, වැඩසටහන් සම්පාදකයකු ලෙස මෙන්ම අධ්යක්ෂවරයකු ලෙසද කටයුතු කළ අතර, අනිල්ගේ මරණයත් සමඟ පළ වූ බොහෝ තොරතුරුවල අනිල් භාරතී ගුවන්විදුලියේ සේවය කළේයැයි වැරදීමකින් සඳහන්ව ඇති බවද ඔහුගේ සොහොයුරිය සිළුමිණට පැවසුවාය.
සරල ගී ගායකයකු ලෙස ගායනය ඇරඹි ඔහු ගැයූ ගීත අතුරින් වඩාත්ම ජනප්‍රිය ගීතය වූයේ කරුණාරත්න අබේසේකරයන් විසින් රචනා කරන ලද ‘බෙහෙත්ලෙහම් පුරේ’ ගීතයයි. මේ වන විට එම ගීතයට වසර පනහක් ඉක්ම ගොස් ඇත. ගායන ක්ෂෙත්රයේ රැඳී සිටි අනිල් ගැයූ ගී අතර අද වෙයි ඉරු දින, සීතල සඳ එළියේ, සුළඟ සමඟ, හිරු ඉපදෙන විට, බෙත්ලෙහෙම් සීතල හඬන්නෙපා, ඉරුදින, ඉරුදින පමණක්, ටිකිරි මලී, මා ආදරෙයි නංගියේ, මගේ රෝසී, සඳයි තරුයි, පුන්සඳ පායා, පුළුන් වගෙයිනේ, නත්තල්දා, බිසෝමැණිකේ, දේවපූජා, දේවපුතා, මිනිසාම තමයි, නගර කෙළවර, නුවර වැව, ඔබ දුටු මුල් දිනේ, ඔබේ සිනා, පෙම් හසුන, රන්මලියයි සිරිමලියයි, තරුවක පායල, වෙරළු නෙළන කොට… ආදි ගී රැසක් වේ. එදා මෙදා තුර ඔහු ගීත 125ක් පමණ ගයා තිබූ අතර, එහි වැඩිපුරම (ගී40ක්) ගයා ඇත්තේ නත්තල් බැති ගීතයි.
රටවල් 26ක ප්‍රසංග සඳහා එක්ව තිබූ අනිල් 2003 වසරේදී බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලවේදී ‘අනිල් භාරතී ලයිව් ඉන් කොන්සර්ට්’ ප්රසංගයද පැවැත්වීය.
රූපා භාරති සමඟ යුගදිවියට එළඹි ඔහු දරුවන් දෙදෙනකුගේ පියෙකි. ඒ රුචින්ද්‍ර හා ලක්ෂාන්ය. කවදත් කලාවට ඇලුම් කළ අනිල් බොහෝ නිහතමානි මිනිසකු වූ අනිල්ගේ දේහය පාණදුර මහින්ද ජයකොඩි මල්ශාලාවේ තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු ඉරිදා (26) සවස ගොරකාන, වලාන සුසාන භූමියේදී සිදු කෙරේ.
ඉසවි - සිළුමිණ