තමන් රඟපෑ 'රියැලිටි' වේදිකා නාට්‍යය වෙනුවෙන් කුසලතා සම්මානය ලැබූ දින 'ගුරු ගීතය' චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා තමන් ඔහුගේ චිත්‍රපටයේ 'අල්තීනායි' හැටියට තීරණය කර තිබූ බව චිත්‍රපටයේ තරුණ අල්තීනායි චරිතයට පණ පොවන කල්පනී ජයසිංහ පවසයි.
පසුගිය ඉරිදා 'රසඳුන' අතිරේකයේ නාමලී ගමගේ සමග පැවති සංවාදයකදී කල්පනී මේ බව පවසා තිබිණි.
එම සංවාදයේ ඇති රසවත් බව හේතුවෙන්ම කල්පනී සමග සංවාදය මෙහි පළ කරමු.
ගුරු ගීතය කියන්නේ ඔබේ කුලුඳුල් සිනමා අත්දැකීම. කොහොමද ආරාධනා ලැබෙන්නේ?
2011 වසරේ යෞවන සම්මාන උලෙළේ මං සම්බන්ධ වුණු නාට්‍ය දෙක අතුරින් ‘රියැලිටි’ කියන නාට්‍යයේ චරිතය වෙනුවෙන් හොඳම නිළිය ලෙස නිර්දේශ වෙලා මට කුසලතා සම්මානයක් හිමිවෙනවා. එදා තමයි උපාලි ගම්ලත් තීරණය කරලා තියෙන්නේ ඔහුගේ අල්තීනායිට ගැළපෙනම කෙනා මං කියලා.
ඔබ ඒ වෙද්දි අල්තීනායි ගැන දැනගෙන හිටියද?
ගුරු ගීතය පොත අම්මගෙන් මට තෑග්ගක් විදිහට ලැබෙන්නේ අවුරුදු 14දී. පිටපත ලැබෙද්දිම මට ලොකු සතුටක් දැනුණා. හේතුව ඒ වෙද්දිත් මගේ හිතේ අල්තීනායි කෙනෙක් හිටියා. මගේ හිතේ හිටිය අල්තීනායි සහ අධ්‍යක්ෂවරයාගේ පිටපතේ හිටිය අල්තීනායි එකට ගැළපීම මට තවත් පහසුවක් වුණා. ඒ වෙද්දි මට අවුරුදු 25යි. පොත කියවද්දි අල්තීනායි ගැන මට දැනුණු සිතුවිලි චරිතයට ගේන්න මං ගොඩක් උත්සාහ කළා. මං හිතනවා මං සාර්ථක වුණා කියලා.
ඔබ වේදිකාවෙන් සිනමාවට ආව කෙනෙක්. වේදිකාවේ අත්දැකීම විතරක් ප්‍රමාණවත් වුණාද?
පොඩි කාලෙ ඉඳන්ම මං ආස කළේ වේදිකාවට. වේයන්ගොඩ බණ්ඩාරනායක ජාතික පාසලේ තිස්ස ධර්මපාල ගුරුතුමා තමයි මුලින්ම මගේ හැකියාව හඳුනගෙන මාව කලාව පැත්තට තල්ලු කළේ. ඇත්තටම වේදිකාවයි සිනමාවයි අතර ලොකු වෙනසක් තියෙනවා. වේදිකාවට සම්බන්ධ වෙලා ඉද්දිම මං සිනමාව, සංස්කරණය, කැමරාකරණය වගේ පැතිත් අධ්‍යයනය කළා. ඒ නිසා මට ඒක ලොකු ගැටලුවක් වුණේ නෑ.
ගුරු ගීතයේ ප්‍රධාන පසුතලය වෙන්නේ නේපාලය. කොහොමද ඒ අත්දැකීම?
අපි මාස එකහමාරක් නේපාලයේ ගත කළා. ඒක මගේ ජීවිතේ කවදාවත් අමතක නොවන කාල පරිච්ඡේදයක්. නේපාලයේ මනාන් කියන ගම්මානයේ තමයි රූගත කළේ. කත්මණ්ඩු ඉඳන් දවස් දෙකක් අපි බස් එකේ ගියා. ජීප් එකක දවසක් ගියා. එතැන ඉඳන් වාහන යන්න බැරි තරම් මාර්ගය දුෂ්කරයි. බූරුවන්ගෙ පිටේ බඩු පටවලා අපි දවස් නවයක් තිස්සේ පයින් ගියා. කඳු පල්ලම්, මහා ප්‍රපාත විතරක් නෙවෙයි හිම ගොඩවල්වලින් පාරවල් වැහිලා. ඒක අතිදුෂ්කර ගමනක්. එවරස්ට් තරණය කරන්න යන සංචාරකයන් ගමන් කරන මාර්ගයක් නිසා ගමින් ගමට නවතින තැන් තිබුණත් 5ක්ම්ක දුර යන්නත් අපිට දවසම ගත වුණා. අපි කණ්ඩායම් තුනක් ගියා. මං ගියේ පළමුවැනි කණ්ඩායමත් එක්ක. රොෂාන් අයියා ආවේ දෙවනි කණ්ඩායමත් එක්ක. ගොඩක් අය යන්න බැරුව ආයෙම හැරිලා ආවා. අන්තිමට අපි හත් දෙනයි ඉතිරි වුණේ.
අත්දැකීමක්වත් නැති නවක ශිල්පිනියක් විදිහට කොහොමද ඔබ ඒ දුෂ්කර තත්ත්වයන් දරා ගත්තේ?
ඒක නම් කියන්නම ඕන. පුංචි කාලෙ ඉඳන් ඕනෙම දේකට මුහුණ දීලා පොළොවේ පය ගහලා ජීවත්වෙන්න පුළුවන් විදිහට තමයි අම්මයි තාත්තයි මාව හැදුවේ. මගේ තාත්තා නැති වෙන්නේ මට අවුරුදු 8දී. මට හිටියෙ අයියලා දෙන්නෙක් නිසා පොඩි කාලෙ ඉඳන්ම මාත් හැදුණේ කොල්ලෙක් වගේ. ගස් නැග්ගා, දුවලා පැනලා ඇති තරම් සෙල්ලම් කරපු ළමා කාලයක් අපට තිබුණා. සමහර තැන්වලදි මටත් හිතුණා ආයෙම එන්න. ඒත් පොඩි කාලෙ ඉඳන් ඕනම දෙයක් දරාගන්න හුරුවෙලා තිබුණ නිසා මං දැඩි තීරණයක් ගත්තා රූගත කිරීම් ඉවර කරලා මිසක් ආයෙම යන්නෙ නෑ කියලා. එතැනදි ගතටත් වඩා හිත ශක්තිමත් කරගන්න ඕන කියල දැනුණා. ඒ දැඩි තීරණය නිසාම තමයි අද මේ සාර්ථකත්වය ලැබිල තියෙන්නේ.
ඔබට බොහෝ අභියෝගවලට මුහුණදෙන්න සිදුවෙන්න ඇති?
මගේ ජීවිතේට අමතක කරන්න බැරි අත්දැකීම් ලැබුණෙම නේපාලයේදී. මේක මගේ කුලුඳුල් අත්දැකීම නිසා හොඳටම කරන්න ඕන කියන තැන මම හිටියා. ඒත් දර්ශන තලයට ගියහම මට ලොකුම අභියෝගය වුණේ අධික සීතල දරාගෙන සීතල නොපෙන්වා රඟපාන එක. එක තැනක අල්තීනායි දූෂණයට ලක්වෙනවා. අවුරුදු 16ක තරුණියක් ඒ වගේ අවස්ථාවක හැසිරෙන්නෙ කොහොමද කියන එක මං අහල, දැකල තිබුණෙ නෑ. මං ඒ ගැන ලියවුණු ලිපි හොයලා හොයලා කියවලා තමයි ඒ දැනුම ලබාගත්තේ.
නේපාලයෙදි ඔබට බිහිසුණු අත්දැකීමකටත් මුහුණ දෙන්න වුණා නේද?
ඔව්. ඒක නම් ජීවිතේට අමතක වෙන්නෙ නෑ. ඉර පායල තියෙනකන් එළියෙ අපට ඕනතරම් වෙලා ඉන්න පුළුවන්. ඒත් හවස් වෙද්දි ඉර කන්දට වැහුණම අධික සීතලයි. මගේ එක සීන් එකක් තිබුණා හවස තුනට විතර ගඟේ එහා පැත්තේ ඉඳන් මල් පොකුරකුත් අරන් දුවන් එන්න. අධ්‍යක්ෂවරයා ඇක්ෂන් කිව්වා. මාත් දැන් දුවගෙන එනවා. ගඟ ළඟ නිසා තවත් සීතලයි. දැන් මට තේරෙනවා හුස්ම ගන්න බැරුව මගේ පපුව හිරවෙනවා කියලා. ඒත් මං අධ්‍යක්ෂවරයා කට් කියනකල්ම කොහොමහරි දරාගෙන හිටියා. මට මතක එච්චරයි. ආයෙම මට සිහිය එද්දි මං හිටියේ ගෙදරක ළිපක් ළඟ ගහපු ගිනි ගොඩක් ළඟ. මට සිහිය නැතිවුණු වෙලාවේ අපේ අය ඔවුන් ඇඳන් හිටිය ජැකට් දාලා මාව සීතලෙන් ආරක්ෂා කරගන්න ගොඩක් උත්සාහ කරලා තියෙනවා. ඒ අතරේ ෂූටින් බලන්න ඇවිත් හිටිය අබූ කියන මනුස්සයා මාව අත්දෙකට අරන් ළඟම තියෙන ගෙදරකට දුවන්න පටන් අරන්. ඒත් එක්කම ඒ පැත්තටම තිබුණු එකම මෝටර් බයිසිකලය අයිති කෙනා ඉක්මනින් ඇවිත් මාව ඒ ගෙදරට අරන් ගිහින්. අපේ අයත් පස්සෙන්ම දුවන් ඇවිත්. මට සිහිය එද්දි මගේ ඇඟේම බටර් ගාලා. ඒ පැත්තෙ කිසිම වෛද්‍යවරයෙක් නැහැ. ඒත් ඔවුන් හරිම නීරෝගි මිනිස්සු. ඔවුන්ගේ එකම බෙහෙත ඒ පැත්තෙ ඉන්න ජැක් ගවයින්ගෙන් හදන බටර් වර්ගය තමයි. මං අදටත් විශ්වාස කරන දෙයක් තමයි එදා අපේ අය විතරක් හිටිය නම් ඔවුන් උපරිම උත්සාහ කරාවි මාව සීතලෙන් බේරගන්න. ඒත් ඔවුන් දන්නෙ නෑ ඒ වගේ වෙලාවකදි ඒ වගේ පරිසරයක කරන්න ඕන මොකක්ද කියන එක. එදා ඒ මිනිස්සු නොහිටින්න අද මං ජීවතුන් අතර නැති වෙන්නත් ඉඩ තිබුණා. ඒ ලබපු අත්දැකීම් දුෂ්කරයි. ඒ වගේම සුන්දරයි.
එහෙනම් කල්පනීට නේපාලය කවදාවත් අමතක වෙනේකක් නැහැ නේද?
කවදාවත් නැහැ. ඒ මගේ ජීවිතේට හමුවුණු සුන්දරම මිනිස්සු ටිකක්. ඔවුන් හරිම ආදරණීයයි. ආගන්තුක සත්කාර අතිනුත් ඉහළයි. ඔවුන්ගේ හදවතට දැනුණු කෙනෙක්ව පිළිගන්න වගේම සමුදෙන්නත් විශේෂ විදිහක් ඔවුන්ගේ සංස්කෘතියේම තියෙනවා. අමුතු සාටකයක් පලන්දලා. හරිම උණුසුම් විදිහට අපිට සමුදුන්නා. දුෂ්කර අත්දැකීම් නිසාම ඒ වෙද්දි අපිත් බලන් හිටියේ කොයි වෙලාවෙද ලංකාවට එන්නෙ කියලා. ඒ දවස්වල අද වගේ තාක්ෂණික පහසුකම් තිබුණෙත් නෑ. ස්මාර්ට් ෆෝන් එකක් තිබුණෙත් රොෂාන් අයියට විතරයි. ගෙදරින් ඈත්වෙලා හිටිය ඒ මාස එකහමාර මට කල්පයක් වගේ දැනුණා.
ඉන්දියාවේ ලබපු අත්දැකීම් ගැන කතා කළොත්?
අල්තීනායි ගමේ ඉඳන් දුම්රියෙන් නගරෙට යන එන දර්ශන විතරයි ඉන්දියාවෙ කළේ. ඒක ඒතරම් ලොකු අත්දැකීමක් වුණේ නෑ. අල්තීනායි සහ දූයිෂේන් වතුරට බැහැලා ගල් පාලමක් හදන දර්ශනය රූගත කරන්න තිබුණේ ලංකාවේ. ගිය ගොඩක් දෙනා ආපහු හැරිලා ආපු නිසා කලින් ප්ලෑන් නොකරපු දේවලුත් නැවත ලංකාවේ රූගත කරන්න වුණා.
ගුරු ගීතය මේ දිනවල සාර්ථකව තිරගත වෙනවා. කොහොමද ලැබෙන ප්‍රතිචාර?
ප්‍රතිචාර ඉතාම ඉහළයි. ඒ ගැන හරිම සතුටුයි. මට ඕන වුණේ මං ආස කරපු අල්තීනායිගේ චරිතයෙන්ම ප්‍රේක්ෂකයෝ මාව හඳුනගන්නවට. එදා ගුරු ගීතය කෘතිය කියවලා මගේ ඇස්වලින් කඳුළු ආව වගේම අල්තීනායි නිසා ප්‍රේක්ෂකයින්ගේ ඇස්වලින් කඳුළු එනවා දකින්නයි මට ඕන වුණේ. ගොඩක් දෙනෙක් සිනමාශාලාවෙන් එළියට ඇවිත් තියෙන්නෙ ඇස්වල කඳුළු පුරෝගෙන. විශේෂයෙන්ම කාන්තාවන්. ඉතින් මං හිතනවා මං සාර්ථක වුණා කියලා.
අම්මා ගෙනත් දුන්න පොතේම චරිතය වෙලා ඔබ ඉද්දි අම්මගෙන් ලැබුණෙ මොන වගේ ප්‍රතිචාරයක් ද?
ගුරු ගීතය පොත අම්මා මට තෑගි කරන්නේ මගේ 14 වැනි උපන්දිනේට. ප්‍රේමය සම්බන්ධයෙන් ලියැවුණු පොතක් කියවපු පළමු අවස්ථාවත් ඒක. අම්මා ගෙනැත් දීපු පොතේ ඇය ආසම කළ චරිතය වෙන්න මට අවස්ථාවක් ලැබෙයි කියලා අම්මා කවදාවත් හිතන්න නැතුව ඇති. ඇත්තටම ඇය තමයි ගොඩක්ම සතුටු වුණු කෙනා. අනිත් කෙනා මගේ මහත්තයා තුසිත. ඒ වගේම මගේ දුවත් ගුරු ගීතය බලලා ගොඩක් සතුටු වුණා.
රංගනයෙන් දායක වෙලා අවුරුදු දොළහකට පස්සේ පළමුවරට ඔබ තිරය මත දකිද්දි මොකද හිතුණේ?
කියාගන්න බැරි තරම් සතුටක් දැනුණා. අල්තීනායි මේ තරම් සාර්ථකව තිරය මතට ගේන්න අපමණ කැපවීමක් කළ මගේ සහෝදරයො හය දෙනා මතක් වුණා. අධ්‍යක්ෂ උපාලි ගම්ලත්, රොෂාන් රවීන්ද්‍ර, කැමරා අධ්‍යක්ෂ කාවින්ද රණවීර, සහාය අධ්‍යක්ෂ ලක් රුවන් විතානගේ, කලා අධ්‍යක්ෂ පූර්ණ ජයශ්‍රී වගේම සහාය කැමරා ශිල්පී මංජුල කුමාරතුංග. මාස එකහමාරක් තිස්සේ මාව බලාගත්ත හැටි, මාව දරාගත්ත හැටි, ඔවුන්ව විශ්වාස කරන්න පුළුවන් විදිහට ඔවුන් මාව රැකබලාගත්ත හැටි මට කවදාවත් අමතක වෙන්නෙ නෑ. අපිට හිටියෙ අපි විතරයි. මට හැමදේම කියන්න හිටියෙත් ඔවුන් විතරයි. ඒ සහෝදරත්වය අදටත් හරිම ආසාවෙන් සිහිපත් කරනවා.