lan englan tam

පුවත්

මේ ලෝකෙ ඉන්න වාසනාවන්තම පෙම්වතිය මම

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ස්වර්ණවාහිනී නාළිකාවේ විකාශනය වන

‘හිරි පොද වැස්ස’ ටෙලි නිර්මාණයේ ට්‍රිලීෂියා ලෙසින් මේ දිනවල ප්‍රේක්ෂක ආදරය ඉහළින්ම දිනා සිටින ඇය සජිනි රෝයිය. ටෙලි නිර්මාණ ත්‍රිත්වයක එකිනෙකට වෙනස් භූමිකා ත්‍රිත්වයකින් සතියේ දින පහේම පුංචි තිරයේ හමුවන ඇය රංගනයට පිවිසෙන්නේ හිරු නාළිකාවේ විකාශය වුණු දිවිතුරා ටෙලි නිර්මාණයෙනි. දිවිතුරාහි විශාල්ගේ යෝජිත පෙම්වතිය වන අචිනිගේ භූමිකාවට පණ පොවමින් කුලුඳුල් රංගන අත්දැකීම ලැබූ ඇය කොතරම් තාත්වික අයුරින් චරිතයට ප්‍රවිෂ්ට වූවා ද යන්නට හොඳම උදාහරණය එය සජීවී චරිතයක් ලෙසින්ම සිතා ලැබුණු ප්‍රේක්ෂක ප්‍රතිචාරය. දඟකාර, කෙළිලොල් යුවතියක ලෙස මේ දිනවල ප්‍රේම රස්තියාදුවේ යෙදෙන ඇය තම ප්‍රථම සිනමා අත්දැකීම වන ‘සූරිය සුළඟ’ රිදී තිරය මත දිස්වන තෙක් දෑස් දල්වා බලා සිටින්නීය.

සජිනි මේ දවස්වල ගොඩක්ම කාර්යබහුල චරිතයක් වෙලා නේද ?

ඇත්තටම ඔව්. මේ දවස්වල ටෙලි නිර්මාණ තුනක වැඩ කරගෙන යනවා. ස්වර්ණවාහිනියේ විකාශය වෙන හිරි පොද වැස්ස මේ දවස්වල ගොඩක්ම ජනප්‍රියයි. ඒ වගේම දෙරණ නාළිකාවේ විකාශය වන තිළිණ බොරලැස්සගේ සිත නිදි නෑ සහ ස්වර්ණවාහිනියේ විකාශය වන ප්‍රේම රස්තියාදුව. මේ නිර්මාණ ත්‍රිත්වයත් එක්ක මට විවේකයක් නැති තරම්.

ට්‍රිලීෂියා ටීචර් මේ දවස්වල ගොඩක් ජනප්‍රියයි නේද?

ඇත්තම කතාව කිවුවොත් සජිනි මේ දවස්වල පත්තුවෙලා ඉන්නේ හිරිපොද වැස්ස ට්‍රිලීෂියා ටීචර් නිසා කිවුවත් හරි. වෙනින් ඩ්‍රාමා එකක ෂූටින්වලට ගියත් පුංචි අය දුවගෙන එන්නේ ටීචර් කියාගෙන. තරුණ පිරිසගෙන් ඉහළම ප්‍රතිචාර ලැබෙනවා. මේ දවස්වල ඔවුන්ගේ ක්‍රෂ් එක වෙලා තියෙන්නෙත් ට්‍රිලීෂියා ටීචර්. වැඩිහිටි පිරිස නම් ටිකක් අකැමැතියි වගේ. සාමාන්‍ය ගුරු භූමිකාවට එහා ගිහින් යම් යම් දේ එකතු කරමින් තිමිර අයියා ඒක රසවත් විදිහට ලියනවා. ඒ නිසා වෙන්න ඇති එහෙම ප්‍රතිචාර ලැබෙන්නේ. ඒත් සාමාන්‍ය සමාජයේ ටීචර්ලා එහෙම හැසිරෙන්නෙ නැති නිසා ඇතැමුන්ට මේක වැරදි කෝණයකින් පේනවා වෙන්න පුළුවන්. සිත නිදි නෑ ටෙලි නිර්මාණයේ ඩිෂ්නි කියන්නේ ඊට හාත්පසින්ම වෙනස් චරිතයක්. ඇය විශ්වාකර්ෂණ නීතිය විශ්වාස කරන දුක, සතුට දෙකම විශ්වය එක්ක බෙදාගන්න කෙනෙක්.

මේ දිනවල ඔබේ ප්‍රේම රස්තියාදුව ගැන මොකද හිතෙන්නේ?

අපූර්වා කියන්නේ මැර පවුල් පසුබිමක හැදෙන කිසිම දෙයක් ගණන් ගන්නෙ නැති දඟකාර, කෙළිලොල්, සාමාන්‍ය චරිතයක්. සචින් ලියනගේ සමඟ පළමු වතාවට ප්‍රධාන භූමිකාවෙන් එකතු වෙනවා. ඔහුගෙන් ගොඩක් හොඳ සහායක් ලැබෙනවා. අපි දෙන්නා කතාබහ කරගෙන සීන් ඩිවෙලොප් කරගන්නවා. අධ්‍යක්ෂ ප්‍රදීප් රසාංග අයියගෙනුත් ලොකු සහයෝගයක් ලැබෙනවා. ගයනි අශිංසලාගේ තිර පිටපතක්. ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා

ඔබේ කුලුඳුල් සිනමා අත්දැකීම ගැන මොකද හිතෙන්නේ ?

ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කරන ‘සූරිය සුළඟ’ සිනමාපටයේ ප්‍රධාන භූමිකාවට ආරාධනා ලැබුණා. ඒක මගේ කුලුඳුල් සිනමා අත්දැකීම. ප්‍රියන්ත අයියා මාව විශ්වාස කරලා මට එහි ප්‍රධාන භූමිකාව ලබාදීම ගැන මට හරිම සතුටුයි. සිදාදියේ සමනලියෝ ටෙලි නිර්මාණයට සම්බන්ධ වෙලා හිටිය කාලෙ තමයි මට සූරිය සුළඟ සිනමාපටයට ආරාධනා ලැබෙන්නේ. මේ වසරේ තිරගත වේවි කියන බලාපොරොත්තුව තියෙනවා. ප්‍රථම වතාවට රිදී තිරයෙන් දකින්න නොඉවසිල්ලෙන් බලන් ඉන්නවා.

සජිනිගේ ක්ෂේත්‍රයට පිවිසීම ගැන කතා කළොත්?

ඒක හරිම අහම්බෙන් වුණු දෙයක්. මං 2022 හිරු අවුරුදු කුමරිය තරගයට ඉදිරිපත් වෙලා පළමු වටයෙදි කරපු වීඩියෝ එකක් සමාජ මාධ්‍යයේ වයිරල් වුණා. දිනය පිළිබඳ ගැටලුවක් නිසා මට දෙවැනි වටයට සහභාගි වෙන්න බැරි වුණා. ඒත් වයිරල් වුණු වීඩියෝ එක නිසා මට දිවිතුරා ටෙලි නිර්මාණයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. මේ වෙද්දි මං ටෙලි නිර්මාණ පහකට සහ එක සිනමාපටයකට සම්බන්ධ වෙලා තියෙනවා. මං මේ ක්ෂේත්‍රයට ආවේ හැදෑරීමක් කරලා නෙවෙයි. ඒත් විවිධ අයුරින් මගේ හැකියාව පෙන්වන්න මට අවස්ථාව ලැබිලා තියෙනවා.

පළමු අත්දැකීම ගොඩක් නපුරු චරිතයක් වීම ගැන මොකද හිතෙන්නේ?

දිවිතුරා ටෙලි නිර්මාණයේ අචිනිගේ චරිතයට මුල ඉඳන්ම ප්‍රේක්ෂකයන්ගෙන් ලැබුණෙ බැණුම්. අන්තිමට මට පාරෙ බැහැල යන්නත් බැරි තත්ත්වයක් උදාවුණා. වෙනින් ඩ්‍රාමා එකක ෂූටින් කරද්දිත් සමහරු ඇවිත් අනුන්ගෙ පවුල් කඩන්න එපා කියලා බණින්න පටන් ගත්තා. එන්න එන්නම ප්‍රතිචාර දරුණු වෙද්දි මං ටෙලි නිර්මාණයෙන් ඉවත් වුණා. ඇතැම් ප්‍රේක්ෂකයෝ ටෙලි නිර්මාණවල චරිත තමන්ගේ කරගෙන තියෙනවා. ඒ නිසා තමයි ඔවුන් එහෙම හැසිරෙන්නේ. ඒක ඉතින් ඔවුන්ගේ වරදකුත් නෙවෙයි.

තිරය මත ප්‍රේම රස්තියාදුවේ යෙදෙන සජිනිගේ ප්‍රේමය ගැනත් කියමු?

මං හිතන්නේ මම තමයි මේ ලෝකෙ ඉන්න වාසනාවන්තම ප්‍රේමවන්තිය. අපේ සම්බන්ධය පටන් ගන්නේ මං ක්ෂේත්‍රයට එන්නත් කලින්. ඔහු මේ ක්ෂේත්‍රයේ කෙනෙක් නෙවෙයි. තව කොතෙක් කල් ගියත් අපි වෙනස් වෙන්නෙ නෑ මට විශ්වාසයි. ඔහුගෙන් පුදුමාකාර සහයෝගයක් ලැබෙනවා. මේ ෆීල්ඩ් එකට එන ගෑනු ළමයි ඉක්මනින් අයින් වෙලා යන්න හේතුව එක්කො පෙම්වතා නැත්නම් සැමියා. මගේ පෙම්වතා රැකියාවයි පෞද්ගලිකත්වයයි දෙකක් විදිහට දකින කෙනෙක්. එයා එයාගෙ වැඩ අතපසු කරගෙන හරි මගේ හැම වැඩකටම එනවා. සාමාන්‍යයෙන් ෆීල්ඩ් එකේදි අපිට එක එක්කෙනා එක්ක රඟපාන්න වෙනවා. ඔහු ඒක හරි ලස්සනට රස විඳිනවා. ඔයා අරයට වඩා මෙයා එක්ක ඉද්දි තමයි ලස්සන කියලා වර්ණනා කරනවා. ඒ වගේ තේරුම් ගන්න පුළුවන් කෙනෙක් ලැබීම මගේ වාසනාවක්. ඕනෙම කෙනෙක් තමන්ගෙ සහකාරිය හෝ සහකරුවා කෙරෙහි විශ්වාසය තියන්න ඕන. අනිත් පාර්ශ්වයත් ඒ විශ්වාසය රකින්න දැනගන්න ඕන. එතකොට තමයි බැඳීමක් පවතින්නේ. ඒ අතින් මං හරිම වාසනාවන්තයි.

 නාමලී ගමගේ(රසඳුන)

Back to top
Go to bottom