ඈත එපිට පිටිසර ගමක, කැලෑවක් අසබඩ ඇති මිනී කනත්තක අමුතුම කාර්යයක යෙදෙන පිරිසකි. දියගොඩ මාංශ, තල කිරිබත් බැඳුම් හා මල් බුලත් ගොටු සහිත පිදේනි තට්ටුවක් අසල සිටින කට්ටාඬියා මැතිරීමක යෙදෙන අතර තවත් දෙදෙනෙක් උදලුතලවලින් මිනී වළක් හාරති.
කෙම්මුර අමාවක දිනයක් වූ හෙයින් මොවුන්ගේ කාර්යයන් සඳහා එළියක් ලැබුණේ මිනී වළ දෙපස දැල්වූ ඉටිපන්දම් කිහිපයකිනි. දෙපා ගැට ගැසූ කුකුළකු ද මිනී වළ අසල වෙයි.
උදලු පහරකට ඇසුණු බොල් හඬත් සමඟ පෙට්ටිය පස් අතරින් මතු වෙයි. වළ හාරමින් සිටි ‘සියදෝරිස්’ හා ‘ආරියපාල’ මිනී පෙට්ටිය වළෙන් ගොඩට ගනිති. ඊළඟට පෙට්ටියේ පියන කෙමෙන් විවර වෙයි. එතුළ තිබුණේ තරුණ කාන්තා මළ සිරුරකි.
කට්ටාඬියා හෙවත් ‘මැණික්හාමි’ මිනිය ඉදිරියේ වාඩි වී යළිත් මැතිරීමක යෙදෙයි. මොහොතකින් දැඩි සුළඟකින් අවට තිබූ ගස්වැල් ඇඹරී යයි. නිශාචර වනසතුන්ගේ භයංකාර හඬවල් හතර දෙසින් ඇසෙන්නට පටන් ගනියි. ඒ සමඟම ගෝනි මල්ලකුත් රැගෙන මඳක් ඉවතට ගිය ආරියපාල, එතුළ තිබූ අමු මස් වැදලි හා බැඳුම් ගෙන, ඒවා ඉදිරියට පැමිණෙන නිශාචරයින් දෙසට වීසි කරයි. දැවැන්ත නයි රංචුවක් ද මිනී වළ දෙසට ඇදෙයි. ආරියදාස ගෝනි මල්ලෙන් එළියට ගත් මී කුණු කිහිපයක් නයින් දෙසට වීසි කරයි.
තවත් සුළු මොහොතකට පසු පෙට්ටිය තුළ තිබුණු ගැහැනු මිනියේ මුව තුළින්, දිව ඉදිරියට ඇදී එයි. එය අඩියකට ආසන්න ප්‍රමාණයක් දික් වෙයි. කට්ටාඩියා හෙවත් මැණික්හාමි පිහියක් ගෙන දීම මුලින් කපා තම මස්සිනා වන සියදෝරිස්ට බාර දෙයි. දිව දියෙන් ගොඩට ගත් මාළුවකු පරිද්දෙන් නලියන්නට පටන් ගනියි.
එක්වරම මළ මිනියේ බඳ කෙළින් වෙයි. ඊළඟට විලිස්සුණු දත් සහිත විරූපී මුහුණ පමණක් අඩ කවයක් දක්වා පසුපසට හැරෙයි. ඒ සමඟම සියදෝරිස් ගැසු කඩු පහරකින් හිස කඳින් වෙන්වී බිම පතිත වෙයි. ඉන්පසු කුකුළා අතට ගත් මැණික්හාමි කුකුළාගේ බොටුව කපා, එයින් වැගිරෙන අමු ලේ, ගෙල සිඳුණු ලැබු මිනිය මතට එක් කරයි.
ආරියපාල ඊළඟට තවත් ගෝනි මල්ලකින් කළු බළල් තඩියකු එළියට ගනියි. දින ගණනාවක් නිරාහාරව තැබු බළලා මහත් කෑදරකමකින් දිව කා දමයි. ඉන්පසු මෙම බළල් පිල්ලිය අමිහිරි හඬ නඟමින් මිනිස් ගොදුරක් සොයා එතැනින් පලා යයි.
මෙහි එන මැණික්හාමි නමැති කට්ටඩියාගේ චරිතය සිරිල් වික්‍රමගේ රඟපාන අතර සියදෝරිස්ගේ චරිතය රඟපානු ලබන්නේ සෝමවීර ගමගේ ය. ආරියපාල ප්‍රියංකර රත්නායක ය. මළමිණිය ලෙස පෙනී සිටින්නේ උදය කුමාරි රණසිංහයි.
“මෙම දර්ශනය හොරණ ප්‍රදේශයෙ කනත්තක් තුළ මුළු රැයක් පුරා අප රූපගත කළා. ඒ සඳහා නළු නිළියන්ගෙන් මෙන්ම කැමරා අධ්‍යක්ෂණය කළ කේ. ඩී. දයානන්දගෙනුත්, කලා අධ්‍යක්ෂණය කළ අරුණ ඩයස්ගෙනුත්, වේෂ නිරූපණය කළ ජයන්තා රණවකගෙනුත්, අධ්යක්ෂණයට සහාය වූ ඩොනල්ඩ් ජයන්තගෙනුත්, නිෂ්පාදන කළමනාකරණය කළ අසෝක ආරියරත්නගෙනුත් ලැබු සහාය අතිවිශාලයි. ඉහත දර්ශන වගේම තවත් භයංකාර දර්ශන රැසක් මෙම චිත්‍රපටයට අඩංගුයි. සිංහල ජන සංස්කෘතියේ අතීතයේ සිට පැවතෙන යාගහෝම, හදි හූනියම්, දිෂ්ටි, පිල්ලි, බන්ධන මෙන්ම මහසෝනා ගැනත් සිද්ධි ඇතුළත් කතා පුවතක් මෙම චිත්‍රපටයට තේමා වෙනවා.”
මෙම චිත්‍රපටයේ නිර්මාතෘ උදයකාන්ත වර්ණසූරිය එසේ පවසනවා. තවද ඔහු කියා සිටින්නේ ‘බන්ධනය’ ලාංකික සිනමාවේ මෙතෙක් බිහි වූ භයංකාරම චිත්‍රපටය විය හැකි බවයි.
හේමාල් රණසිංහ, දුලානි අනුරාධා, සුවිනීතා වීරසිංහ, නිල්මිණි තෙන්නකෝන්, සහේලි සතරසිංහ, රවීන්ද්‍ර යසස්, ලියෝනි කොතලාවල, කුමාර මඳුරැස්ස, ජයතිස්ස අතුලසිරි, අසංක දේවමිත්ර පෙරේරා යන නළු නිළියන් රැසක් ද මේ චිත්‍රපටයේ විවිධ චරිත නිරූපණය කරනවා.
- ඉඳුනිල්
සබැදි පුවත්