සෞන්දර්ය කලා විශ්වවිද්‍යාල නර්තන හා නාට්‍ය කලා පීඨයේ පහතරට නර්තන අධ්‍යයනාංශයේ අවසන් වසර විද්‍යාර්ථීන්ගේ සාමූහික විභාග අභිප්‍රායක් වශයෙන් නිෂ්පාදනය වූ ‘යථාකාය’ නිර්මාණාත්මක නර්තන වේදිකා ප්‍රසංග කෘතිය ජනවාරි 8 වැනිදා විශ්වවිද්‍යාලයීය පණීභාරත රංගශාලාවේදී වේදිකාගත විය.
ප්‍රශස්ත සමාජ කියවීමකින් යුක්ත එකී අභිවහනාත්මක ප්‍රාසංගික අත්දැකීම පිළිබඳ විචාරාත්මක විශ්ලේෂණයක් මෙලෙස පෙළගැස්විය හැකිය.
පරමාර්ථයක් ලෙස ලාංකේය නර්තනය හුදෙක් සුඛය සහ අභිචාරමය සිතිවිල්ලක් වශයෙන් පමණක්ම කේන්ද්‍රගතව පවතින සමකාලීන සන්දර්භයක ඊට විසංවාදි කියවීමකින් නර්තන විෂයයෙහි අභිවෘද්ධිය උදෙසා අනෙකා අභිප්‍රේරණය කිරීමට ගත් උත්සාහයක සාර්ථක නිර්මාණාත්මක කලා කෘතියක් වශයෙන් ‘යථාකාය’ කලා කෘතිය හඳුනා ගත හැකි ය.
ඒකාකෘතික වූ නර්තන සම්ප්‍රදායන්ගෙන් හෙම්බත් වී සිටින ශ්‍රී ලාංකේය ග්‍රාහක සමාජය නින්දෙන් අවදි කොට, ඔවුන් අබියසට මෙවැනි නවමු අද්දැකීම් සහිත නිර්මාණ රැගෙන යෑම ඔස්සේ නර්තන කලාවට මෙන්ම ග්‍රාහකයාටද නැවුම් වූ අන්තර්ගතයක් සහ ආකෘතියක් ජනිත කළ හැකිවා පමණක් නොව, උසස් කලාත්මක රසවින්දනයකට ආස්වාදයකට ඔවුන්ව පොලඹවාලිය හැකි ය. නර්තන උපාධි පාඨමාලාව හදාරන අවසන් වසර විද්‍යාර්ථින් හැටියට ඔවුන්ගේ මෙකී ප්‍රයත්නය අනාගත නර්තන කලාවේ ප්‍රයාසය පිළිබඳ ධනාත්මක දිශානතියකට මං පෙත් විවර කරන්නක් විය.
‘යථාකාය’ නර්තන කෘතිය පිළිබඳ එහි අන්තර්ගතය සහ ව්‍යූහාත්මක මෙන්ම සමස්ත නිමාව සම්බන්ධව ව්‍යාඛ්‍යානය කළහොත් පැයකුත් විනාඩි පහළොවක පමණ ඉතා කෙටි කාලයක් තුළ නර්තන මාධ්‍යයෙන් පෘථූල වූ ගැඹුරු වූ ආඛ්‍යානයක් රේඛීයව අඛණ්ඩත්වයෙන් ගලායන අයුරින් නිර්මාණය කොට දක්වා තිබීම සුවිශේෂත්වයක් උසුලයි. මනුෂ්‍ය ජීවිතය සහ ආත්මය කේන්ද්‍රකොට ගනිමින් මානව සත්ත්වයාගේ උපතේ සිට මරණය දක්වා පමණක් නොව, ඉන් මත්තට ද ඔහුට මුහුණ පාන්නට තිබෙන සසර ගමනේ ස්වභාවය පිළිබඳ ප්‍රසංවාදය තේමා කොටගත් ආඛ්‍යානයක් එහි සන්දර්භයෙන් අන්තර්ගතව තිබිණි. මනුෂ්‍ය පංචේන්ද්‍රියන්ට විෂය ලෝකයෙහි අභිමුඛ වන ප්‍රපංච ලෝකය එනම් භෞතික ලෝකය සහ කාල්පනික වශයෙන් පවතින නිෂ්ප්‍රපංච ලෝකය වන එනම් පාරභෞතික ලෝකයත් අතර දයලෙක්තිකය මත සැරිසරන මනුෂ්‍ය ජීවිතයක යථාවිධභාවය ‘යථාකාය’ ඔස්සේ සියුම් ලෙස ගෙනහැර දැක්වීමට එකී කෘතිය සාමර්ථයක් දරයි. නිෂ්ප්‍රපංච සාධකයක් වූ ආත්මය නොහොත් විඤ්ඤාණය ප්‍රපංච සාධකයක් වූ යම් ශරීරයක් අතර අනුකලනය වන අයුරු සහ අනතුරුව එහි දයලෙක්තිකය තුළ ක්‍රියාවලියක් වශයෙන් විවිධ හැලහැප්පිලි මධ්‍යයේ ප්‍රවර්තනය වන අයුරු මෙහිලා ප්‍රතිභාසම්පන්නව නව්‍යමය වූ අපූර්වත්වයකින් යුක්තව නිර්මාණය වී තිබීම අගය කළ යුත්තකි.
භෞතිකය සහ පාරභෞතිකය අතර පවතින ද්වීඝටනීය සම්මර්ශනය සමාජාභිමුඛ කිරීම මෙහි තේමාව වන්නට ඇතැයි ද තවදුරටත් විශ්වාස කළ හැකි ය. එපමණක් නොව, මනුෂ්‍ය ජීවිත පර්යාය තුළ සිදු වන විවිධ සිද්ධි දාම ඔස්සේ ඔහු අභිමුඛ වන පාරිසරික මෙන්ම විවිධ පැතිකඩ පිළිබඳ යම් යම් ඉඟිද මෙහි අන්තර්ගතව තිබෙනු දැකගන්නට ලැබිණි. මෙලෙස විවිධ ප්‍රස්තුත ඔස්සේ ග්‍රාහක ඥානවීමංසාව සාපේක්ෂව විවිධ අයුරින් අර්ථකථනය කරගත හැකි අන්තර්ගතයක් මෙහි දිස් විය. එවැනි කලා කෘති බිහි කිරීම ඉතා අසීරු කාර්යයකි. ජීවිත පරිඥානය පිළිබඳ නොඑසේ නම් ජීවිතාවබෝධය පිළිබඳ ප්‍රේක්ෂාවක් සටහන් කළ බවද නිරනුමානය. මෙවැනි වස්තු විෂයන් නර්තන මාධ්‍යයෙන් කියවාගැනීමට අවශ්‍ය පරිදි සහ එය ප්‍රත්‍යක්ෂ කළ ප්‍රතිභා ශක්තියක් යථාකායෙහි විද්‍යමාන විය.
මානව සත්ත්වයාගේ උත්පත්තියට පූර්වයේ සිට උත්පත්තියෙන් පසුව මරණය දක්වාත් අතර කාලය සහ මරණින් පසුවත් සිදු වන සංකීර්ණ ක්‍රියාවලිය විවිධ අවස්ථා සහිත සිද්ධි දාමයකින් ප්‍රායෝගික කාර්යයක් ලෙස වියමන් කිරීම සුළුපටු නොවේ. එකී කාර්ය සිද්ධි වශයෙන් කෘතිය තුළ ගෙනහැර දැක්වුව ද ඒ තුළ විචිත්‍ර ආකෘතියක් ප්‍රදර්ශනය නොවන අයුරින් රේඛීයව අඛණ්ඩතාවට හානියක් නොවන පරිදි පවත්වා ගැනීම නිර්මාණයේ ආකෘතිකමය සාර්ථකත්වයට ඉවහල් වී ඇත. ග්‍රාහකයා තුළ අතීන්ද්‍රීය ප්‍රතීතිය සහ කේවල සත්තාව ජනිත කළ නර්තනමය කෘතියක් වන ‘යථාකාය’ නිරන්තරවම කුතූහලය ජනිත කරමින් දිගහැරෙන කලා කෘතියකි.
නිර්මාණය ආරම්භයේ සිට ප්‍රේක්ෂාමය අවසානය දක්වා දෘශ්‍යකරණය වීමෙන් අනතුරුව නර්තනය නරඹන අවස්ථාවේදීම අතීතාවර්ජනය වෙත මනස ප්‍රත්‍යවලෝකනය වීමේ ගතිලක්ෂණය නිසා ඇරිස්ටෝටලියානු නාට්‍ය විචාර න්‍යායද ඇතැම් විට සිහි කැඳවයි. කාන්ටියානු දර්ශනයෙහි අන්තර්ගත භෞතිකය සහ පාරභෞතිකය අතර දක්නට ලැබෙන විචාර සංකල්පයද ඇතැම් අවස්ථාවලදී මෙය නරඹන විට ස්මරණය වනු නොවැළැක්විය හැකි සාධකයකි. ප්‍රොයිඩියානු දර්ශනය මෙන්ම ගෙස්ටෝටලියානු දර්ශනයෙහි ඇතැම් න්‍යායික සංකල්ප ද කෘතිය නරඹන විට ප්‍රදර්ශනය වනු දක්නට ලැබේ. ගෝලීය වැදගත්කමකින් යුත් විචාර ප්‍රවාදයන්ද සිහිකැඳවන මෙකී නිර්මාණය දුර්ලභ අවස්ථාවක් වන්නේය.
‘යථාකාය’ නර්තන ප්‍රසංග අත්දැකීමෙහි තිබූ තවත් සුවිශේෂ ලක්ෂණයක් වන්නේ එය නැරඹීමෙන් අනතුරුව නිවෙස් බලා පිටත්ව යන ග්‍රාහකයාට කුතූහලයෙන් සිතන්න යමක් පොලඹවාලීමේ ලක්ෂණයකින් යුක්තව නිමා වී තිබීමයි. එය විශිෂ්ට ගණයේ කලා කෘතියක නෛසර්ගික ලක්ෂණයකි.
සංඥාර්ථවේදීය න්‍යායික එළඹුමෙන් නර්තන කෘතියක් නරඹද්දී සහ විග්‍රහ කරද්දී තේමාවට උචිත පරිදි පරිශීලනයට ගත් සංකේතාත්මක සංඥාර්ථකරණයන් නිර්මාණයේ ආඛ්‍යානය භාවාත්මකව උද්දීපනය කරන්නට භාවිතයට ගෙන ඇත. විවිධ අවස්ථාවලදී සුසංයෝග කොට ඇති වර්ණ සංයෝජනය කතා තේමාවට ඖචිත්‍යයමය අනුබලයක් වී ඇත. නිර්මාණය නැවත වරක් නැරඹීමට ඇත්නම් යන ආකල්පමය හැඟීමක් විචාර බුද්ධියක් සහිත ග්‍රාහකයකුට ඇති නොවන්නේ නම් එය පුදුමයට කාරණයක් වනු ඇත. සංකේතාත්මක භාවිතාවන් හැටියට ප්‍රේක්ෂකාගාරය රංගනයේදී පරිශීලනයට ගැනීම, විවිධ වර්ණ සංකේත භාවිතය, වස්තු මෙවලම් භාවිතය, පසුතල සැලසුම්කරණය, රංගාලෝකකරණයට පරිබාහිර ආලෝක භාවිතය ආදී අවස්ථා ආඛ්‍යාන ප්‍රස්තුතය ප්‍රත්‍යක්ෂ කිරීමට බෙහෙවින්ම ආලෝකයක් වී තිබිණි.
අවකාශය සහ කාලය අතර රංග වින්‍යාසය සහ ශාරීරික චලනයන්හි අන්තර්ගතව පැවති සංවිධිත බව නිර්මාණයේ සාර්ථකත්වයට ඉමහත් පිටිවහලක් වී ඇත. සමස්ත නිර්මාණය පුරා සිද්ධි නොහොත් අවස්ථා දොළහක් දහතුනක් පමණකින් යුක්ත එකී සිද්ධි සමුදා වියුක්තතාවකින් තොරව ගළපාගැනීම ප්‍රශංසනීයය. රංගාලෝකකරණය වෙත අවධානය යොමු කළ හොත් ඇතැම් සිද්ධි සඳහා තවදුරටත් උචිත රංගාලෝකකරණයක් තිබුණේ නම් මැනවි යැයි හැඟේ. නිර්මාණයේ සංගීතයද අනුභූතී තේමාවට උචිත පරිදි තවදුරටත් ගළපා ගැනීමට හැකි වූයේ නම් යැයිද හැඟීමක් පවතී. විද්‍යාර්ථීන්ගේ මූල්‍යමය දායකත්වය නිසා ඇතැම් විට මූල්‍යමය සාධක සංගීතය සඳහා බලපාන්නට ඇතැයි අනුමාන සහිතය. නිර්මාණ කෘතියෙහි සංඥා නාමකරණය වශයෙන් ‘යථාකාය’ යන්නෙන් කේතකරණය වී තිබූ නමුදු එය කය සහ මනස අතර අන්තර් විෂයික සම්බන්ධයම මූලිකව විග්‍රහ වන හෙයින් ඒ පිළිබඳ තවදුරටත් සැලකිලිමත් වූයේ නම් මැනවි.
විශාල ප්‍රේක්ෂක පිරිසක් මධ්‍යයේ නර්තනයේ ඉදිරි අවශ්‍යතාමය දිශානතිය කොයිබට ද යන්න සන්නිවේදනය කළ ‘යථාකාය’ සියුම් ප්‍රයානයක දීප්තිමත් තාරකාවක් වැනි සංකේතයකි. බාල බොළඳ ආභාසයන් සහිත නර්තනයන් පවතින යුගයක මෙය ඉතා හොඳ ප්‍රවේශයකි. පහතරට නර්තන අධ්‍යයනාංශයේ අංශ ප්‍රධාන රසික කොතලාවල මහතා ප්‍රමුඛ නිර්මාණයේ ගුරුවර මහේෂ් උමගිලිය මහතාටත් සියලු ගුරුවරුන්ටත් විද්‍යාර්ථීන්ටත් සුබ පතමි. මෙවන් නව්‍යමය වූ තවත් නර්තන මාදිලීන් නුදුරු අනාගතයේ අප හමුවට ගෙනෙන බවට මෙය සමීපතම සාධකයක් වනු නිසැකය.
