ලංකාවේ ප්‍රකට සිනමාවේදිනියක් වන අනෝමා රාජකරුණා අධ්‍යක්ෂණය කල 'No More Land' වාර්තා චිත්‍රපටය පසුගිය ජූලි 7 සිට 13 තෙක් ඉන්දියාවේ කල්කටාහිදී පැවැත්වුණු 8 වන දකුණු ආසියානු කෙටි චිත්‍රපට උළෙලේදී සත්‍යජිත් රේ ලෝකඩ සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා.
‘No More Land’ චිත්‍රපටය නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම නැවත පදිංචි කිරීමේ සහ කෘෂිකර්ම සංවර්ධන ව්‍යාපෘතිය වන ගල් ඔය ව්‍යාපෘතියෙන් පසුව බිහිවූ, අම්පාර නම් පරිපාලන දිස්ත්‍රික්කයේ මතුවූ ඉඩම් ආරවුල් පිළිබඳව අවධානය යොමු කරයි. මෙම චිත්‍රපටය ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කලා කෞතුකාගාරය (MMCA) මගින් ලබා දුන් පැවරුමක් මත නිර්මාණය කෙරුණු චිත්‍රපටියකි.
මීට අවුරුදු දෙකකට පෙර 6වන වරට මෙම උළෙල පැවැත්වූ අවස්ථාවේද ඇයගේ ‘Cross of Justice’ නම් වාර්තා චිත්‍රපටය මෙම සම්මානය දිනා ගැනීමට සමත් විය.
මෙය පසුගිය සිව්වසර තුල අනෝමා දිනාගත් සිව්වන ජාත්‍යන්තර සම්මානයද වෙයි. තවද ඇයගේ ‘Forward Drive’ නම් කෙටි චිත්‍රපටය 3 වන ඉන්දියානු ජාත්‍යන්තර ක්‍රීඩා චිත්‍රපට උළෙලේදී කෙටි ප්‍රබන්ධ චිත්‍රපට සඳහා වූ විශේෂ ජූරි ත්‍යාගය දිනා ගන්නා ලදී.
චිත්‍රපටය පිළිබඳව:
1961දී අම්පාර නම් පරිපාලන දිස්ත්‍රික්කය පිහිටවන ලද්දේ ගල් ඔය ව්‍යාපෘතියේ ඍජු ප්‍රතිපලයක් ලෙසිනි. ගල් ඔය ව්‍යාපෘතිය නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම නැවත පදිංචි කිරීමේ සහ කෘෂිකර්ම සංවර්ධන ව්‍යාපෘතියයි. ලංකාවේ සෑම ප්‍රදේශයකින්ම පැමිණෙන පදිංචිකරුවන් සඳහාත්, ව්‍යාපෘතිය හරහා සිඝ්‍රයෙන් ගොඩනැගෙන යටිතල පහසුකම් කළමනාකරණය කරගැනීමටත් අම්පාර දිස්ත්‍රික්කය පිහිටුවන ලදී. පසුගිය දශක හතකට අධික කාලය තුළ සියලු ජාතීන්ට අයත් පදිංචිකරුවන් පරම්පරා ගණනාවක්, මෙහි මුල් වැසියන් වූ ආදිවාසි ජනතාවත් සමග මෙම භුමියේ කොටස්කරුවන්ව ජීවත් වෙයි. ඔවුන් සියලු දෙනාම එක්ව මුහුණ දෙන නොයෙකුත් වාතාවරණයන් සහ හැල හැප්පීම් මැද ඔවුන්ට මෙම භුමිය සමග ඇති සම්බන්දය හැඩගැසී ඇත. 'No More Land' ඔවුන්ගේ කතාවයි. අවතැන්වීම්, ගැටුම් සහ බිය, භුමියට ඇති හෝ නැති අයිතිය පිළිබඳව ඔවුන්ගේ කතාව කාන්තාවන් එකොලොස් දෙනෙකුගේ හඬින් ප්‍රකාශ වෙයි.
නිෂ්පාදන කණ්ඩායම: කැමරාකරණය - මහින්ද අබේසිංහ, සංස්කරණය - සමන් ඇල්විටිගල, ශබ්ද පටිගත කිරීම් - අරුණ සංජය, සංගීතය - හේෂාන් කුරුප්පු, ශබ්ද සැලසුම - සසික රුවන් මාරසිංහ සහ හේෂාන් කුරුප්පු, වර්ණ සංයෝජනය - දිනිඳු ජාගොඩ, පර්යේෂණ සහය - සමන්ති උඩගෙදර, සුමින්ද ජානක සහ දිනුකි පණ්ඩිතරත්න.
පහතින් දැක්වෙන්නේ චිත්‍රපටයේ නිෂ්පාදන කණ්ඩායමේ ඡායාරූප කිහිපයකි.



(ඡායාරූප උපුටා ගැනීම 'Anoma Rajakaruna' ෆේස්බුක් පිටුව ඇසුරිනි)




