ගෝලීය සංචාරක වෙබ් අඩවියක් වන ‘Big 7 Travel’ විසින් 2025 සඳහා ‘ලෝකයේ හොඳම දූපත් 50’ හි වාර්ෂික ලැයිස්තුව නිල වශයෙන් නිකුත් කර ඇති අතර එහි ශ්‍රී ලංකාව ‘ලොව ලස්සනම දූපත’ ලෙස ප්‍රථම ස්ථානයට නම් කර තිබෙනවා.
ලොව පුරා ගමනාන්ත සමගින්, 2025 මෙම ලැයිස්තුව අද්විතීය දූපත් අත්දැකීම් සහ ගවේෂණය කිරීමට ආශ්වාදජනක ස්ථාන සමරනු ලබන අතර, ලැයිස්තුවේ ඇති ප්‍රංශ පොලිනීසියාවේ මොරියා, ඉක්වදෝරයේ ගැලපගෝස් දූපත් සහ සීෂෙල්ස් වැනි සුප්‍රසිද්ධ දූපත් පාරාදීසයන් අභිබවමිනුයි ශ්‍රී ලංකාව ප්‍රථම ස්ථානයට පත්ව තිබෙන්නේ.
මෙම ලැයිස්තුව සකස් වන්නේ පසුගිය මාධ්‍ය ප්‍රතිඵලවල එකතුවූ ලකුණු, Big 7 Travel සඟරාවේ සම්පාදක කණ්ඩායමේ දායකත්වය, සමාජ ජාලා මාධ්‍ය වල ගමනාන්ත ජනප්‍රියත්වය සහ 2025 වසරේ සංචාරකයන්ගේ අවධානය දිනාගන්නා ස්ථාන මත පදනම්වයි.
Big 7 Travel ට අනුව සංස්කෘතික උරුමයන්, විවිධ භූ දර්ශන සහ පිරිසිදු වෙරළ තීරයන්ගේ පොහොසත් මිශ්‍රණය සඳහා ශ්‍රී ලංකාව තෝරා ගෙන තිබෙනවා.
එමෙන්ම වනජීවීන්, පුරාණ විහාරස්ථාන, සශ්‍රීක තේ වගාවන් සහ සජීව දේශීය අත්දකීම් සඳහා ද ශ්‍රී ලංකාවට ප්‍රශංසා ලැබී තිබෙනවා.
බිග් 7 සංචාරක වෙබ් අඩවියට අනුව මුල් ස්ථාන 10 අතරට තේරී පත්ව ඇති දූපත් ලැයිස්තුව පහතින් දැක්වෙනවා.
- ශ්‍රී ලංකාව
- Mo'orea, ප්‍රංශ පොලිනීසියාව
- සොකොත්‍රා, යේමනය
- මැඩෙයිරා
- ගැලපගෝස්, ඉක්වදෝරය
- මහා එක්සුමා, බහමාස්
- සීෂෙල්ස්
- අචිල් දූපත, අයර්ලන්ත
- කෝ ලිප්, තායිලන්තය
- මිලෝස්, ග්‍රීසිය




