-Anton J.Fernando-
මුළු ලොව එළිය කරන සදා නොනිමෙන පහන් ටැඹ වන අම්මා පිළිබඳව හා බාධක දුක් කම්කටොළු හමුවේ ඔරොත්තුදීමේ හැකියාවේ බලය, අධිෂ්ඨාන ශක්තිය පිළිඹිබු කරන " මදර් ලංකා "( Mother Lanka) අනූෂ සංජීව එදිරිමුණි ගේ කුළුඳුල් සිනමා නිර්මාණයයි.
අම්මෙක් දරුවෙක් වෙනුවෙන් උහුලන අනේක විධ දුක් කන්දරාව මෙතෙකැයි පැවසිය නොහැකි තරම්.
පිරිමි විස්වාස කරලා හැමදාමත් හැගීම් හමුවේ අසරණ වුන යුවතියෝ ද ඕනෑ තරම් සිටිති. ඒ අපට වරදින තැන කොතනද කියා නොදන්න නිසාවෙනි.
අවංකවම දරුවෙක්ට ආදරය කරුණාව සෙනෙහස දක්වන්න තම කුසයෙන් බිහිකිරීමට අවශ්‍ය වන්නේද නැත . ප්‍රේක්ෂකයාට මෙහිදී හමුවන, ජාතික තලයේ ක්‍රීඩා ශූරියක් වු ශාලු , ක්‍රීඩාව වෙනුවෙන් මුළු ජීවිතයම කැපකලා සේම, ආදරය වෙනුවෙන් දෙවරක් නොසිතා ක්‍රීඩාව අත් හල සොඳුරු සුන්දර යුවතියක්. එසේ වූයේ හිරිමල් තාරුණ්‍යයේ දොරකඩ අභියස දී පිදූ ආදරයට, නොපැතූ සේ ඔහුගේ ආදරය අහිමිවීමයි.
එනමුදු අහිමි වූ ආදරයේ ප්‍රතිඵලය සුරැකිව පෝෂණය කිරීමට මාතෘත්වයේ නාමයෙන් ශාලු තීරණය කරනවා.
සුන්දර යෞවනියකට කිසි ලෙසකත් තනිව ගමන් කළ නොහැකි ඒ කටුක ගමනට ඇයට පිළිසරණක් වන්නේ ද , ජීවීතය ජීවත්කරවීම සඳහා ස්ත්‍රීත්වය වැළඳගත් සත්‍යා නම් අවංක මිතුරියයි. මෙකී අම්මාවරුන් දෙපොල එක්වී, විජයග්‍රාහි දැරියක බිහිකිරීමේ රළු අභියෝගාත්මක ගමන අරඹයි.
සමාජයේ සරදමටත් , ගැරහුමටත් ලක්වූ සත්‍යාටත් , අනපේක්ෂිත ජීවිත සරදමකට මුහුණදුන් ශාලු සහ දියණිය එමී ගේත් අනුවේදනීය කතාවයි " මදර් ලංකා " (Mother Lanka)
මෙහි කතාව හා තිර පිටපත ක්‍රිෂාන්ති කුලසූරියගෙනි. රංගන දායකත්වයෙන් තරින්දි ප්‍රනාන්දු , ධනංජය සිරිවර්ධන , ශෙනුකි දිශල්‍යා( හඳුන්වාදීම ), බිමල් ජයකොඩි, හේෂානි ලියදිපිට , සනත් ගුණතිලක , දිල්හානි ඒකනායක , නුවන් ගුණසේකර , කළණ ගුණසේකර , නවින්දි රැපියෙල් ,හර්ෂිකා රත්නායක , සුධීක්ෂා සමාධි , චතුරංග කොඩිතුවක්කු , සරත් කොතලාවල , සාරා අබේගුණවර්ධන සහ ධර්ප්‍රිය ඩයස් ඇතුලු ප්‍රවීණයන් පිරිසක් එක්වී ඇත.
කැමරා අධ්‍යක්ෂණයෙන් සහ නිෂ්පාදන සැලසුම්කරණයෙන් රංග එස්. බණ්ඩාර , සහය අධ්‍යක්ෂණයෙන් නිරෝශන් එදිරිමාන්න , සංගීත අධ්‍යක්ෂණයෙන් එරංග ජයවර්ධන , වර්ණ සංයෝජනයෙන් ආනන්ද බණ්ඩාර , ශබ්ද සංකලනයෙන් ශසික රුවන් මාරසිංහ , අංග රචනයෙන් නයන උජිත් , කලා අධ්‍යක්ෂණයෙන් විහඟ දෙව්වින් , ගීත රචනයෙන් සහ ගායනයෙන් අභිෂේකා විමලවීර , සංස්කරණයෙන් ඉන්ෆිනිටි කට්ස් , නිෂ්පාදන කළමනාකරණයෙන් ලක් රුවන් ලොකුහපුආරච්චි ඇතුළු පිරිසක් එක්ව ඇති " මදර් ලංකා " ඉෂාන් පෙරේරා විසින් නිෂ්පාදනය කර ඇති අතර අයි.ඩබ්ලිව් .හෝල්ඩිං ඉදිරිපත් කිරීමක් ලෙසින් ප්‍රේක්ෂකයා හමුවට පැමිණෙයි .
සටහන - ඇන්ටන් ජේ ප්‍රනාන්දු.
චිත්‍රපටයේ නිල තේමා ගීතය නරඹන්න මෙතනින්>>




