ශ්‍රී ලාංකීය වනජීවී ඡායාරූපකරණ ශිල්පී ලක්ෂිත කරුණාරත්න විසින් ගනු ලැබූ ‘Toxic Tip’ ලෙස නම් කරන ලද වනජීවී ඡායාරූපය,
ලන්ඩනයේ ස්වභාවික ඉතිහාස කෞතුකාගාරය (Natural History Museum) මගින් සංවිධානය කරන ලෝක ප්‍රකට වනජීවී ඡායාරූප ශිල්පී සම්මාන තරගාවලියේ (Wildlife Photographer of the Year - WPY) සම්මාන ලාභී ඡායාරූප අතරට තේරී පත්ව තිබෙනවා.
මෙම සම්මාන තරඟාවලිය සැලකෙන්නේ "වනජීවී ඡායාරූපකරණයේ ඔස්කාර් සම්මානය'' ලෙසිනුයි.
මෙම තරගාවලියට මේ වසරේදී රටවල් 120කට අධික සංඛ්‍යාවකින් වාර්තාගත ඡායාරූප 60,636 ක් ලැබී ඇති අතර, ඉන් ඡායාරූප 100ක් පමණක් ජයග්‍රාහී ඡායාරූප ලෙස තෝරාගෙන තිබෙනවා.
එමෙන්ම මෙය ලක්ෂිත කරුණාරත්න මෙම තරගයේදී සම්මානයට පාත්‍ර වූ දෙවන අවස්ථාව වන අතර වසර 61ක ඉතිහාසයක් ඇති මෙම තරගාවලියේ දෙවරක් සම්මාන ලැබූ පළමු ශ්‍රී ලාංකිකයා වන්නේ ද ඔහුයි.
ලක්ෂිතගේ ‘Toxic Tip’ ලෙස නම් කරන ලද සම්මානලාභී ඡායාරූපය, ඔහු විසින් වසර තුනකට ආසන්න කාලයක් මිනිස්-ඇත් ගැටුම් සහ අක්‍රමවත් අපද්‍රව්‍ය බැහැර කිරීමේ විනාශකාරී බලපෑම් පිළිබඳව තොරතුරු රැස් කළ, අම්පාර දිස්ත්‍රික්කයේදී ගනු ලැබූවකි.
අති විශාල අපද්‍රව්‍ය ගොඩක ආහාර සොයන තනි අලියෙකු නිරූපණය වන එම ඡායාරූපය, ශ්‍රී ලංකාවේ අලින්ට පොලිතීන්, ප්ලාස්ටික් සහ මයික්‍රොප්ලාස්ටික් ශරීරගත වීම නිසා සිදුවන හානිය පිළිබිඹු කරන සංවේදී අවස්ථාවකි.
ලක්ෂිත කරුණාරත්නගේ ‘Toxic Tip’ ලෙස නම් කරන ලද ඡායාරූපය
මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලක්ෂිත කරුණාරත්න සඳහන් කර තිබුණේ,
"මෙම සම්මානය මා වෙනුවෙන් පමණක් නොවේ. අපගේ අපද්‍රව්‍ය සහ ජීවන රටාවන් වනජීවීන්ට බලපාන ආකාරය පිළිබඳව අවධානය යොමු කළ යුතු බවට වන මතක් කිරීමකි. අලි ඇතුන් අපගේ සංස්කෘතික අනන්‍යතාවයේ කොටසක් වන අතර, ඔවුන් ආරක්ෂා කිරීම අපගේ උරුමය ආරක්ෂා කිරීමකි..." යනුවෙන්
61 වන WPY සම්මාන උළෙල 2025 ඔක්තෝබර් 13 වන දින ලන්ඩනයේ ස්වභාවික ඉතිහාස කෞතුකාගාරයේදී පැවැත්වීමට නියමිතය.
ලොවපුරා ප්‍රධාන මාධ්‍ය ගණනාවක් විසින් ප්‍රකාශයට පත් කරන ලද මුල් ඡායාරූප 15ට ලක්ෂිත කරුණාරත්නගේ 'Toxic Tip' ඡායාරූපය ද ඇතුළත් වීම විශේෂත්වයක් වනවා.




