සුප්‍රකට ඇමරිකානු (WWE) රෙස්ලින් තරුව 'ජෝන් සීනා' අද (13) සිය දශක දෙකකට අධික WWE වෘත්තීමය දිවියට විශ්‍රාම දෙමින් අවසන් තරගය සඳහා එක්වන්නට නියමිතයි.
මෙහිදී සීනා සමග තරග වදින්නේ කවුද යන්න තෝරා ගැනීම සදහා 'The Last Time is Now' යනුවෙන් තරගාවලියක් WWE සුපිරි රෙස්ලින් ක්‍රීඩකයන් 16 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු අතර,
එහිදී ජයග්‍රහණය කළ ‘Gunther’ සමග One Arena, Washington, D.C. හීදී ජෝන් සීනා අද Saturday Night's Main Event තුළින් සිය අවසන් තරගයට එක්වනු ඇති.

WWE හි දශක දෙකකට අධික කාලයක් විහිදුණු ජෝන් සීනාගේ වෘත්තීය ජීවිතය, ව්‍යාපාරයේ සිටින හොඳම ක්‍රීඩකයන් සමඟ තරඟ වැදීමෙන් සමන්විත වූ අතර, ලොව පුරාම WWE රසිකයන්ගේ ගෞරවය හා ආදරය දිනා ගැනීමට සමත් විය.
ඔහු සෑම විටම රසිකයන් වෙනුවෙන් විශාල කැපවීමක් කළ අයෙකි. ඔහු බොහෝ දෙනෙකුගේ පැතුම් ඉටු කළ අතර, ගෝලීය වශයෙන් WWE හි සැබෑ තානාපතිවරයෙකු විය. තමන්ගේම කොන්දේසි මත තමන් විශ්‍රාම නොගන්නා බවත්, අවස්ථාවක් ලැබුණා නම් ජීවිත කාලය පුරාම මල්ලවපොර ක්‍රීඩාවේ නිරත වීමට තිබූ බවත් සීනා පැවසීය.
කෙසේ වෙතත්, මෙය සැබවින්ම තමන්ගේ අවසාන තරගය වන බවත්, නැවත පැමිණීමක් නොකරන බවත් ඔහු පැවසීය.
"මම ඒකට ආදරෙයි [මිනිස්සු මම ආපහු එයි කියලා හිතන එකට] සහ මම ඒකට ඔවුන්ට දොස් කියන්නේ නැහැ, මොකද මේක මීට පෙර කවදාවත් වෙලා නැහැ," සීනා පැවසීය.
"මල්ලවපොර ක්‍රීඩකයෝ විශ්‍රාම යන්නේ නැහැ, ඒ නිසා එහෙම කරන පළමු කෙනා වෙනකොට, යම් සැකයක් ඇති වෙනවා."
WWE මල්ලවපොර පිටියේ එතෙක් මෙතෙක් බිහි වූ සාර්ථකම ක්‍රීඩකයා ලෙස ජෝන් සීනාව හැදින්විය හැකි අතර,
ඔහු, 17 වතාවක් WWE ලෝක ශූරයා, පස් වතාවක් United States ශූරයා, සිව් වතාවක් tag team ශූරයා, දෙවරක් Royal Rumble ජයග්‍රාහකයා සහ 2012 දී Money in the Bank ජයග්‍රාහකයා සහ අවසන් වරට පසුගියදා Intercontinental ශූරයා ලෙස කිරුළු පැලද තිබෙනවා.



