මෙරට ප්‍රවීණ චිත්‍ර ශිල්පියෙකු වූ බන්ධුල හරිශ්චන්ද්‍ර මහතා (86) අභාවප්‍රාප්ත වී තිබෙනවා.
70,80,90 දශක වල මෙරට සිංහල චිත්‍ර කතා පුවත්පත් කලාව තුළ පුරෝගාමී කලාකරුවෙකු වූ ඔහුගේ තෙලි තුඩෙන් චිත්‍රකතා, පුවත්පත්, සඟරා, කාටුන්, පොත් පිටකවර.. දහස් ගණනක් වර්ණවත් විය.
ශ්‍රී ලාංකීය චිත්‍රකතා කලාව තුළ ප්‍රථම වර්ණ චිත්‍රකතාව "නල දමයන්තී "නමින් නිර්මාණය කිරිමේ ගෞරවයට හිමිකම් කියන්නේ ද බන්ධුල හරිශ්චන්ද්‍රයන්ය.
1940 මැයි 24දා පානදුරේ කෙසෙල්වත්ත ප්‍රදේශයේදී උපත් ලැබූ ඔහු 1955 දී චිත්‍ර ශිල්පය ආරම්භ කොට තිබෙනවා.
ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ශ්‍රි ලංකා සඟරාවේ ආර්ථික විද්‍යා ලිපියකට 1958 දී 'මී කුණ' නමින් කළ චිත්‍ර කතාව ඔහුගේ පළමු චිත්‍ර කතාව වූ අතර, එතැන් සිට හරිස්චන්ද්‍රයන් ලේක්හවුස්, මල්ට්ෆැක්ස්, කැමිලස්, හා සුමති යන පුවත්පත් ආයතන වල චිත්‍ර කතා ශිල්පියෙකු ලෙස සේවය කොට තිබෙනවා.
පුවත් පත් චිත්‍ර කතා ක්ෂේත්‍රය තුළ ඔහුගේ වෘත්තීමය දිවිය දශක පහකට අධිකයි.
දීපා, බේබද්දා සහ නිදන් හොරු, හේලෝ, හෙලන්, රහස් හස්න, දේවස්මිතා, පෙතිගෝමර, දිය රකුසා, පෙරක්ලීස්, ක්ලියෝපැට්රා, සොල්දර කෑල්ල, පෙනිලෝපා, සිංහබාහු, උන්මාද චිත්රා, පණ්ඩුකාභය, කසපහර පොත් ලෙස ප්රකාශයට පත්ව ඇති ඔහුගේ චිත්රකතා ය.
ශ්‍රී ලාංකීය චිත්‍ර කතා කලාව තුළ සිය අනන්‍යතාවය තහවුරු කරමින්, සිංහල චිත්‍ර කතාවේ සුපෝෂණය උදෙසා පුරෝහාමී මෙහෙවරක් ඉටු කල බන්ධුල හරිශ්චන්ද්‍ර මහතා අසමසම කලාකරුවෙකි.
අභාවප්‍රාප්ත, බන්ධුල හරිශ්චන්ද්‍ර මහතාගේ දේහය මේ වන විට අවසන් ගෞරව දැක්වීම සඳහා අංක 141. ඩී. වලව්වත්ත කුරුස හංදිය අළුබෝමුල්ල නිවසේ තැම්පත් කර ඇති අතර, දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට දින එනම් 2026 පෙබරවාරි මස 02 දා පස්වරු 4.30 ට, බණ්ඩාරගම පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.




