“මම මුලින්ම ක්ෂේත්‍රයට එන්නේ නිරූපිකාවක් විදිහට. මෝස්තර නිරූපණ ශිල්පිනියක ලෙස කටයුතු කරන අතරම තමයි මට රංගනයට ආරාධනා ලැබෙන්නේ. ඊට පස්සේ තමයි ටෙලිනාට්‍යවලට සම්බන්ධ වෙන්නේ.
මම නිළියක් වෙනවා කියලා කවදාවත් හිතලා තිබුණේ නැහැ. මගේ තාත්තා බන්ධනාගාර නිලධාරියෙක්. ඒ නිසා පොඩි කාලේ ඉඳන් මගේ හිතේ තිබුණේ බන්ධනාගාර නිලධාරිනියක් වෙන්න. හැබැයි උසස් පෙළ විභාගය ඉවර වෙනවත් එක්කම මට රංගනය පැත්තෙන් ආරාධනා ගොඩක් ආවා. ඒ ආරාධනාත් එක්ක තමයි මම රංගන ක්ෂේත්‍රය තෝරාගත්තේ.”
මේ දවස්වල ඇය කාර්යබහුල නිළියකි. පසුගිය කාලයේ ඇය සම්බන්ධ වූ ටෙලිනාට්‍ය හතරකම රූගත කිරීම් අවසන් වී ඇත. මා, හිතාගන්න බැරි කතාවක් සහ බේකරි ගෙදර´ ඒ අතරින් කිහිපයකි. එමෙන්ම යූටියුබ් ඔස්සේ පමණක් විකාශනය වන සුවිශේෂ වූ `කොටු´ (webisodes) ටෙලිනාට්‍යයකටද ඇය දායක වී සිටින්නීය. තවත් අලුත් නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබී ඇති අතර, ඒවා ඉදිරියේදී විකාශනය වීමට නියමිතය.
මේ දවස්වල ධනංජි වඩාත්ම කතාබහට ලක්වෙන්නේ ‘කොටු’ ටෙලිනාට්‍යයේ ඇය නිරූපණය කරන ගැබිනි මවකගේ චරිතය ගැනය
“මේ දවස්වල විකාශනය වන විශේෂම ටෙලිනාට්‍ය තමයි ‘කොටු’. ඒකෙදි මම කරන්නේ දරුවෙකු ලැබෙන්න ඉන්න අම්මා කෙනෙකුගේ චරිතයක්. සමාජයේ මේ වගේ ප්‍රශ්නවලට මුහුණ දෙන ගැබිනි මවුවරු ඕනෑ තරම් ඉන්නවා. සමහරු සමාජ මාධ්‍ය හරහා මට කියනවා ‘මේක මගේම ජීවිත කතාව’ කියලා. තමන් ප්‍රෙග්නට් වෙලා ඉන්න කාලේ සැමියාට වෙනත් සම්බන්ධයක් තිබිලා, දරුවා වෙනුවෙන් ඒ හැම ප්‍රශ්නයක්ම ඉවසගෙන හිටපු ගැහැනුන් අපේ සමාජයේ ඉන්නවා. කාන්තාවක් විදිහට එවැනි දුක් කරදර එනවා. සමහරු බැඳීම්වලින් අයින් වෙනවා. මේ චරිතය නිසා මට මේ දවස්වල ගොඩක් ඉහළ ප්‍රතිචාර ලැබෙනවා.”
මෑත කාලයේ කළ චරිත අතරින් ඇය වඩාත්ම කැමති ‘මා’ ටෙලිනාට්‍යයේ ‘ලයිලා’ ගේ චරිතයට සහ ‘කොටු’ ටෙලිනාට්‍යයේ චරිතයටයි.
”ලයිලා කියන්නේ කෙළින් කතා කරන, තමන්ගේ ආදරය දිනාගන්න රණ්ඩු කරලා හරි ජය ගන්න හදන කෙල්ලෙක්. හැබැයි ‘කොටු’ එකේ චරිතය හරි අහිංසකයි, ලොකු මානසික පීඩනයක් සහ වගකීමක් තියෙන චරිතයක්.”
ධනංජි වැඩිපුරම දකින්න ලැබෙන්නේ ටෙලිනාට්‍යවලින් වුවත්, ඇය සිනමාවට සහ වේදිකාවටද එකසේ දායක වෙයි. ‘වැලි පවුරු‘,‘සීමා නෑ ආකාසේ සහ‘නිහඬ සෙවණැලි‘ ඇය රංගනයෙන් දායක වූ චිත්‍රපට වන අතර, ඉදිරියේදී තිරගත වීමට නියමිත ‘සරණි´ සහ සුනිල් ප්‍රේමරත්න අධ්‍යක්ෂ ‘නිච්චි‘ චිත්‍රපටවලද ඇය රඟපාන්නීය.
මේ දවස්වල ඇය වැඩිපුරම කාලය වෙන් කර තිබෙන්නේ වේදිකාව වෙනුවෙනි. දුලිකා මාරපනගේ ප්‍රධානත්වයෙන්, සුජීව ප්‍රියාල් අධ්‍යක්ෂණය කරන ‘අදරගෙදර’ වේදිකා නාට්‍යයේ කටයුතු සමඟ ඇය කාර්යබහුලව වෙසෙන්නීය.
තමන් සතු දක්ෂතා සහ රුචිකත්වයන් පිළිබඳවද ධනංජි මෙසේ පැවසුවාය.
“මම පාසල් යන කාලේ කළේ චිත්‍ර ඇඳීම. ඒ වගේම නර්තනයටත් ආසයි. හැබැයි හැමෝම නොදන්න දෙයක් තමයි මම අංගම්පොර ඉගෙන ගන්නවා කියලා. පුළුවන් හැම වෙලාවකම ඒ වෙනුවෙන් සහභාගි වෙනවා.”
තමන්ට ලැබෙන චරිත තෝරා බේරා ගන්නා ඇය, මෙතෙක් කිසිදු චරිතයක් ප්‍රතික්ෂේප කර නැතත්, නිරුවත් දර්ශන සහිත චරිත භාර නොගන්නා බවද තරයේ කියා සිටියි. දිනෙක පොලිස් කාන්තාවකගේ චරිතයක් රඟපෑම ඇගේ ලොකුම බලාපොරොත්තුවකි.
ක්ෂේත්‍රයෙන් සමුගැනීමේ කිසිදු බලාපොරොත්තුවක් නැති ඇය, ප්‍රවීණයන්ගෙන් ලැබෙන ගුරුහරුකම් සහ සහයෝගය ගෞරවයෙන් අගය කරයි. අද වන විට සමාජ මාධ්‍ය හරහා ක්ෂේත්‍රයට එන නවකයන් පිළිබඳව ධනංජි දක්වන්නේ මෙවැනි අදහසකි.
“සෝෂල් මීඩියා හරහා අද ගොඩක් අයට අවස්ථාව ලැබිලා තියෙනවා. ඒක හොඳ දෙයක්. හැබැයි සමහර අය කිසිම හැදෑරීමක් නැතුව ඇවිත්, ලැබෙන ජනප්‍රියත්වය වෙනත් පැතිවලට යොමු කරලා අතරමං වෙනවා. එනවා වගේම ඉක්මනින් ක්ෂේත්‍රයෙන් නැති වෙලා යනවා. ක්ෂේත්‍රයට කොහොම ආවත් දක්ෂතාව රැකගෙන, ප්‍රවීණයන්ට ගරු කරලා, හොඳ හැදියාවක් ඇතුව ඉලක්කයක් කරා යන අයට විතරයි දිගු ගමනක් යන්න පුළුවන්. ”
Rasaduna




