හඬකැවීම් ශිල්පිනියක ලෙස සිය අනන්‍යතාව සනිටුහන් කළ ශ්‍යාමලී ලිවේරාගේ හඬ ඇසූ සැණින් බාල, තරුණ, වැඩිහිටි කාටත් ඇය ආගන්තුක නොවේ. හඬකැවීමෙන් මෙන්ම රංගනයෙන් ද සිය ප්‍රතිභාව ගුවන්විදුලි ශ්‍රාවකයාටත්, රූපවාහිනී ප්‍රේක්ෂකයාටත් තිළිණ කළ ශ්‍යාමලී , පසුගිය වෙසක් සමයේ තොරණ සඳහා හඬ රංගනයෙන් ද එක්වූවාය.
තොරණ සඳහා ඇගේ හඬ රංගනය 1990 දශකයේ සිටම ලබා දී ඇත. ඒ පිළිබඳ ශ්‍යාමලීගේ මතකය දිවගියේ මෙලෙසිනි.
“මම 1990 දශකයේ මර්වින් සේනාරත්න මහතා පිටපත් රචනා කළ තොරණ වැඩසටහන්වලට හඬ දායකත්වය ලබා දුන්නා. පසුකාලයේ තිලක් රෝහණ මැණික්දිවෙල මහතා පිටපත රචනා කළ තොරණ වැඩසටහන් සඳහාත් දායක වුණා. වසර ගණනාවක් තිස්සේම මම ඒවාට සම්බන්ධ වෙනවා. මෙවර වෙසක් සමයේත් කොළඹ අවට පිටකොටුව, පිළියන්දල, මාලබේ ප්‍රදේශවල තිබූ තොරණ සඳහා මගේ කටහඬ දායකත්වය ලබා දුන්නා. “
ගුවන්විදුලි ශිල්පිනියක ලෙස ශ්‍යාමලී ලිවේරාගේ ආරම්භය 1960 දශකය තෙක් දිවයයි. සිය ඥාතිවරයකු වූ විමල් අභයසුන්දර මාර්ගයෙන් ගුවන්විදුලියට ගොඩවීමේ භාග්‍යය ඇයට හිමිවුණි. එකී අතීතය පිළිබඳ සොඳුරු මතකයන් රැසක් ඇය සිහිපත් කළාය.
“විමල් අභයසුන්දර කියන්නේ මගේ ඥාති සීයා කෙනෙක්. ඔහු තමයි මාව ගුවන්විදුලියට රැගෙන ගියේ. ‘ ටිකිරි සිනා රැලි’ නමැති ළමා වැඩසටහනටයි ඔහු මාව සම්බන්ධ කළේ . එයින් පසු ඔහු මාව ගුවන්විදුලියේ කිසිම වැඩසටහනකට සම්බන්ධ කළේ නැහැ. ඒ මම තනිවම ගමනක් යා යුතු නිසා. ඔහු ඥාති හිතවත්කමට තැන දෙන්න කැමති වුණේ නෑ . ළමා ශිල්පී පරීක්ෂණයෙන් සමත් වූ මාව ළමා පිටියට තේරුණා. ඉන්පසුව මගේ උත්සාහයෙන්, හැදෑරීමෙන්, ක්‍රමානුකූලව ගුවන්විදුලියේ ගමනක් යන්න අවශ්‍ය මාර්ගය මම නිර්මාණය කර ගත්තා. ඊට පස්සේ 70 දශකයේදී නාට්‍ය ශිල්පී පරීක්ෂණය තිබුණා. එයටත් ඉදිරිපත් වී එයින්ද සමත් වුණා. ඒ අතර විරිඳු, අධ්‍යාපන සේවා, සරල ගී, පද්‍යාවලිය නමැති කවි වැඩසටහන් සඳහාත් මම සම්බන්ධ වුණා. ඒ කාලයේ අදාළ පරීක්ෂණවලින් සමත් වුණොත් පමණයි අපව ඒ වැඩසටහන්වලට ගත්තේ. ඒවාට ඉදිරිපත් වෙද්දී මට අවුරුදු 07ක් 08ක් වගේ. අනතුරුව විමල් අභයසුන්දර සීයාගේ වැඩසටහන්වලටත් දායක වුණේ අදාළ පරීක්ෂණවලින් පසුවයි. ” කුඩා අවධියේ සිටම දක්ෂ ගුවන්විදුලි ශිල්පිනියක වීමේ අඩිතාලම ඇය විසින්ම සකස් කරගනු ලැබුවේ ස්වඋත්සාහයෙනි. ‘සංගීත සන්ධ්‍යාව’ නමැති ළමා වැඩසටහනටත් කරුණාරත්න අබේසේකරයන්ගේ ‘සරස්වතී මණ්ඩපය’, මහින්ද අල්ගමගේ ළමා රංග පීඨය ‘, පියදාස රත්නසිංහයන්ගේ ‘ගුරුකුලය , සංදීපනී’ ආදි ගුවන්විදුලි වැඩසටහන් සඳහා ද ඇය සම්බන්ධ වී සිය හැකියාව ඔපනංවා ගත්තාය. නාට්‍ය ශිල්පී පරීක්ෂණයෙන් ද සමත් වන්නට ඇයට හැකි වුණි. එහි ප්‍රතිඵලයක් වශයෙන් සුගතපාල ද සිල්වාගේ ‘ කිරි වයිරෝඩිය’හි ද රඟපෑ ඇය, ‘ඇස් දෙක, අපි දෙන්නයි පාළු ලොවයි, ශෛල කල්‍යාණි’ ආදි ගුවන්විදුලි නාට්‍යයන්හි චරිත රංගනයට එක්වූවාය. ‘ඇස් දෙක’ නාට්‍යයේ ප්‍රධාන චරිතය වූ කුංචනාගේ චරිතයට ශ්‍යාමලී පණදුන්නාය. එහි ඇගේ පෙම්වතා ලෙස හඬ එක්කළේ ඩග්ලස් රණසිංහය . ආනන්ද සිරිසේන, ධර්ම ශ්‍රී මුණසිංහ, මර්වින් සේනාරත්න , නෝබට් අයගමගේ වැනි ප්‍රවීණයන් එම ගුවන්විදුලි නාට්‍ය රචනා කර තිබීම ද විශේෂත්වයකි.
ශ්‍යාමලී ගුවන්විදුලියට එක්වීමෙන් පසු ඇයට අපූරු යුවළක් හමු වූවාය.
“සනත් නන්දසිරි අයියයි මල්කාන්ති නන්දසිරි අක්කයි මට ගුවන්විදුලියේදී හමුවූ අපූරු යුවළක්. ඒ දෙන්නා ගුවන්විදුලියේ මගේ මව සහ පියා ලෙස සලකනවා. මම ඔවුන්ගේ වැඩසටහන් රැසකටම එක්වුණා. ඔවුන් එහිදී මටත් උදවු කළා. මම එයාලා දෙන්නගෙන් බොහෝ දේ ඉගෙන ගත්තා.“
වසර 50කට වැඩි හඬකැවීම් දිවියකට ඇය උරුමකම් කියන්නීය.
“එකල ගුවන්විදුලියේ සේවය කළ ජී. ගුණවර්ධන මහතා මාව ‘සූර සරදියෙල් ‘ චිත්‍රපටයේ ළමා ශිල්පිනියකට හඬකැවීමට සම්බන්ධ කරගත්තා. ඉන්පසු දිගටම චිත්‍රපටවල හඬකැවීමට එක්වුණා. වෙළෙඳ දැන්වීම් රැසකටත් හඬ දුන්නා . ඊට පස්සේ තමයි රූපවාහිනියට සම්බන්ධ වුණේ . ‘ඔෂින් , ඉෂුවාරා, ටාසන්, සූරපප්පා , ස්කුබි ඩු, පැංචා, ප්‍රගති , සුජාතා , මහ ගෙදර” වැනි නිර්මාණවලට හඬකැවීම් ශිල්පිනියක ලෙස සම්බන්ධ වුණා. එයින් ‘ඉෂුවාරා’හි ‘රෝසා’ චරිතයත්, ‘පැංචා’හි ‘ශ්‍රිදේවි’ චරිතයත් ප්‍රේක්ෂකයා අතර ඉතාමත් ජනප්‍රිය වුණා. සෑම නාළිකාවකට හඬකැවීම්වලට මම සහභාගි වෙනවා. අද වන විට මගේ හඬකැවීම් දිවියට වසර 50කට වැඩියි.“
පසුකාලයේ පාසල්වල පැවැත්වූ හඬකැවීම් තරගවල ප්‍රවීණයන් සමඟ විනිශ්චයටත් සහභාගි වුණා. හඬකැවීම් කාර්යය සිදු කරද්දි අමතක නොවන මිහිරි මතකයනුත් තිබෙනවා. මම කොහේ හෝ ගියාම මගේ කටහඬ ඇහුණු ගමන් මිනිස්සු අහනවා ඔයා හඬකැවීම් කරනවා නේද කියලා. මගේ රූපයෙන් නැතත් කට හඬින් බොහෝ අය මාව හඳුනනවා.
-Rasaduna -




