lan englan tam

පුවත්

ශ්‍යාම් ප්‍රනාන්දුගෙන් බිමල් ජයකොඩි ගැන සටහනක්!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

'ධර්මයුද්ධය 2' චිත්‍රපටය මේ දිනවල ඉහළම ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද දිවයින පුරා සිනමා ශාලා වල තිරගත වෙනවා.

‘ධර්මයුද්ධය’(2017) පළමු චිත්‍රපටයේම දෙවන දිගහැරුම වන මෙහි පළමු චිත්‍රපටයේ ජැක්සන් ඇන්තනී නිරූපණය කළ ‘හරිශ්චන්ද්‍රගේ’ චරිතය නිරූපණය කරන්නේ බිමල් ජයකොඩි විසින්.

මතු දැක්වෙන්නේ 'ධර්මයුද්ධය 2' චිත්‍රපටයේ බිමල් ජයකොඩිගේ රංගනය පිළිබඳව ප්‍රවීණ රංගන ශිල්පියෙකු වන ශ්‍යාම් ප්‍රනාන්දු තබා තිබූ සටහනක්.

(උපුටා ගැනීම)

"රංගනයේ ධර්මයුද්ධය...

ධර්ම යුද්ධය 2 චිත්‍රපටියේ බිමල් ජයකොඩිගේ රංගනය ගැන නොලියාම බැරි නිසා මේ සටහන තියන්නේ. මේ චිත්‍රපටියට බිමල් නොගෙන යෝජනා කරන්න නළුවෙක් මට මතක් වෙන්නෙ නෑ. මේ චිත්‍රපටියේ පියාගේ භූමිකාව පැතිකඩ රාශියක් දරාගෙන ඉන්නවා.

පළමුව, මානව හැගීම් කලාපය. බිමල් තරම් හැගීම්, මනෝභාවයන් ඉතාම සියුම් ලෙස සහ ප්‍රබල ලෙස උත්තේජනය කරන, උත්පාදනය කරන, ඊටත් වඩා ඒවා පාලනය කරන, හසුරවන, නිළියන් අපට සිටියත් නළුවෙක් නම් අපිට වෙනත් නැති තරම්.

දෙවනුව මානව හැගීම් දරා සිටීම සහ එහි අඛණ්ඩතාව හැසිරවීම. නළුවෙකුට තියෙන අසීරුම දෙයක් තමයි සමස්ථ පිටපත තුළ තම භූමිකාව ස්ථානගත කිරීම සහ එය නිර්මාණශීලීව හැසිරවීම. හරිස්චන්ද්‍රගේ භූමිකාව තුල තිබිය යුතුම වන ප්‍රධාන චරිත ලක්ෂණයක් වන තමා තුළ පමනක් සගවාගෙන සිටින,තමාගේ ජීවිතයටත් වඩා තමන් ගරුකරන, ආදරය කරන තම බිරිද සහ දරුවන් හට පවා හෙළිනොකර සගවාගෙන සිටින රහස් දරාසිටීම. සහ එම රහස් ප්‍රේක්ෂකයින් ගෙන් පවා සගවාගෙන සිටීම. මෙය රංගනයේදී ඉතාම අසීරු සහ සියුම්ව නිරූපණය කළ යුතු අභියෝගයක්. බිමල් එය වඩාත් පරිණත ලෙස හසුරුවනවා.

තෙවනුව, භූමිකාව හැසිරවීමේ විනය සහ පරිනතභාවය, බුද්ධිමත් සවිඥානික බව.අනාගතයේ හෙළිවන සත්‍යයක්, අතීතයේ රහසක්, තම කුටුම්භය තුළ මෙන්ම සමාජ ජීවිතය තුළද දරාගනිමින් තම භූමිකාව මෙහෙයවීම විශිෂ්ඨයි.

සිව්වනුව, අපේ සිනමාවේ මිනිස් සහනුකම්පාව දැනවීමේ ප්‍රමුඛයා බිමල් ජයකොඩි වීම. මෙම චිත්‍රපටය අයත් වන සිනමා ශානරය තුළ කතා නායකයා සතුවිය යුතු ගුණාංගයක් වන සහනුකම්පාව දැනවීම මෙම භූමිකාව තුළ ඉටුකිරීමට බිමල් තුළ නෛසර්ගික ගුණයක් තියෙනවා. සාම්ප්‍රදායික ආසියාතික තාත්තා යන මූලික අත්තිවාරම තුළ ස්ථාපිතවෙමින්, කතාවේ විකාශණයත් සමග එම සිද්ධි තුළ තිබෙන සංකීර්ණතා මතුකරමින්, දරාගනිමින් අපේ සමාජවලට ගැළපෙන තාත්තා කෙනෙක් බිමල් ගොඩනගන ආකාරය ප්‍රශංසනීයයි.

තව කියන්න බොහෝ දේ තියෙනවා. ඒ ටික මුදිත මාධ්‍යයක ලියන්න හිතනවා.

බිමල්ගේ රංගනයේ විශිෂ්ඨත්වය බලන්න හින්දා විතරක්ම ධර්ම යුද්ධය නැරඹුවත් පාඩු නැති බව මම හිතනවා"

(උපුටා ගැනීම අවසන්)

 

සටහන - ශ්‍යාම් ප්‍රනාන්දු

(ප්‍රවීණ රංගන ශිල්පී)

(මෙම සටහන 'shyam Fernando' ෆේස්බුක් පිටුව ඇසුරිනි)

kemadasa

shungara

Back to top
Go to bottom