ජීවිතය සහ ජීවත් වීමත්, එසේ ජීවත්වීම අරභයා අනෙකාගේ ජීවිත්වීම විනිශ්චය කිරීමත් යනු ඉමහත් අරගලයකි.
එබැවින් එය ජීවන අරගලය යනුවෙන් දැක්වෙයි. ජීවිතයම අරගලයක් කොටගත් අප අපගේ ජීවිත කාලය තුළ විවිධ දේශපාලන අරගලවලටද මැදිවීමු. එහි සක්‍රීය කොටස්කරුවන් වීමු. එසේ බලන කල අප මේ අරගල කරන්නේ එක්කෝ නිශ්චිත දේශපාලන අභිමතයක් වෙනුවෙනි. නැතහොත් අඩුම තරමින් ජීවත් වීමේ හෝ පරම අරමුණ වෙනුවෙනි.
අරගල කරන්නෝම අරගලකරුවන්ට ප්‍රතිවිරුද්ධ වන්නේ ඔතැනදීය. අරගලයක පාර්ශවකරුවෝ සිය අරගලයට අභියෝග වන්නවුන් දුබල කොට නිහඬ කිරීමටද අරගල කරති. මෙම අරගලය තුල තම පැවැත්ම සාදා ගන්නට සමත් වන්නේ සිය පරිසරයට වඩාත්ම සුදුස්සා පමණකි. වංචනික ආයාසයකින් එකී සුදුසුකම සාදා ගන්නා බලවතුන්ගේ පැවැත්ම අවදානම් වනු ඇත. සිය හෘදයසාක්ෂිමය සීමාව තුළ වුවද එය පීඩාකාරී විය හැක. ‘රිවස්ටන්’ චිත්‍රපටයේ කතාව කතා වින්‍යාසයක් බවට පත් කරනුයේ මේකී ගැටෙන්නන්ගේ ඝට්ටනයයි.
‘රිවස්ටන්’ චිත්රපටයෙහි නිමිත්ත වනුයේ පෙර කී ‘වඩාත්ම සුදුස්සා’ සමග මේ ‘වංක බලවත්කම’ එකිනෙක සැසඳිමයි. පැවැත්මක් නැති ‘රිවස්’ වන්නෝ සහ වඩාත්ම සුදුසු ‘ටර්න්’ වන්නෝ අතර දුර එක උණ්ඩයකි. ඒ තරමට මිනිස්කම පටු වී ඇත. වෙනස් වී ඇත. එනම් පැවැත්ම තීන්දු වන්නේ ‘වෙනස් වන දේ’ සහ ‘සහජයෙන් උරුම වන දේ’ මෙන්ම ‘තෝරාගැනීම’ මතයි. සත්ත්වයන්ගේ පරිනාමයට හේතු වන විපර්යාසය, ප්‍රවේණිය හා වරණය යනු එම සාධකයි. නොමැරී ජීවත් වීමට කරන අරගලය හා ඒ සඳහා වඩාත්ම සුදුස්සා වීමේ මාරාන්තික ජීවන සටනට බලපාන්නේ එම සාධකයි. වෙනස්වීම යනු ජීවය පිළිබඳ නීතිය වෙයි. කිසිදු හැඩයක් නැති මහ ගල් වතුරට හේදි හේදී කාලාන්තරයක් තිස්සේ හැඩ වෙයි. ගංපතුලේ සැඟව තිබෙන එම ගල් කොපමණ කාලයක් වතුරට හේදුනාදැයි කිසිවකු දන්නේ නැත. එම ගල් මේ සංසාරෙ ගෙවන අප වාගේය. ආත්මෙන් ආත්මෙට හේදි හේදි හැඩ වන්නේයැයි නන්දිත සිය ඝාතකයා දැනුවත් කරයි.
චිත්‍රපටයක කාලීන වටිනාකමක් ඇත. සර්වකාලීන වටිනාකමක්ද ඇත. රාජපක්ෂ යුගයේ මෙරට සිනමා වෙළෙන්දන් සහ අවස්ථානුකූල ව්‍යාපෘතිකරුවන් එක පෙළට හැදූ ධර්මෝන්මාදී චිත්‍රපට රොත්ටටම කිසිදු සර්වකාලීන අගයක් නැති බව දැන් ප්රත්යක්ෂය. ඒ්වා කාලීන වළ ඉහගෙන කෑම් බව එවෙලෙහි වැටහුණේ නැත.. රිචඩ් ද සොයිසා හෝ ක්ලැරන්ස් විජේවර්ධණ ගැන මෑතක සැදුණු චිත්‍රපට එම පරමාදර්ශී චරිත තරමට සර්වකාලීන නොවන්නේ මන්ද? ලංකාවේ බයෝපික් චිත්‍රපට යනු මියගියවුන් යළි ගෙල මිරිකා මරා දමන තරම් අවස්ථාවාදීය. මේ වන විට මාලිනී ෆොන්සේකාත්, මිල්ටන් මල්ලවාරච්චිත්, ලතා වල්පොලත් සිනමා කොස්තාපල්ලා විසින් දෑස් බැඳ සිය ජිප් රියට නංවාගනු ලැබ ඇත.‘රිවස්ටන්’ චිත්‍රපටය මුලින් නම් කොට තිබී ඇත්තේ ‘උණ්ඩය එනකං’ යනුවෙනි. එම හැඳුනුමට ඇත්තේ කාලීන ආකර්ෂණයකි. පොලිස් ඝාතකයින් සිරගත සැකකරුවන් ආයුධ පෙන්වන්නට යන අතරමග මරාදමන ප්‍රසිද්ධ සිදුවීම සමග එය ගැලපෙයි. නමුත් ‘රිවස්ටන්’ යන්නෙහි ඇත්තේ සදාකාලීක ව්යංගාර්ථතයකි. එය සර්වකාලීන නිර්මාණයකට ගැලපෙන හැඳුනුමකි. පෙනෙන දේට වඩා දකින දේ සහ දැකිය යුතු දේ බරපතලය. එම යටි අරුත් ප්‍රදර්ශනය වන්නේ මේ ප්‍රකට ඝාතන සිදුවීම පුළුල් තිරයට ගැනීමෙහි නොව ඉන් ඔබ්බෙහිය. මෙහි උණ්ඩය එනතුරු විස්තර වන්නේ විවිධ මිනිසුන් තම විවිධ අරමුණූ වෙනුවෙන් ජීවිතයත් මරණයත් අතර නියුතු ජීවන පොරයයි. අවසානයේ අප කල් තියා දැන සිටි ඒ අපේක්ෂිත උන්ඩය සක්‍රීය වෙයි. ඉන් මේ කවරකුගේවත් අරමුණු සඵල වීද? එබැවින් නොමැරිය හැකි ජීවන අරගලයට ‘රිවස්ටන්’ යන හැඳුනුම වඩාත් සංකේතානුසාරී වෙයි. ජීවිතය යනු මෙහි නොකඩවා පෙන්වන ක්ෂුද්‍ර රූකඩ ජිප් රිය මෙන් නොවැදගත් වෙයි. නැතහොත් මේ රිවස්ටන් කඳු මෙන් සුවිසල් හා අප්‍රමාණ වෙයි. ‘රිවස්’ වීම සහ ‘ටර්න්’ වීම අතර ආශ්වාසප්රශ්වාසය තීන්දු වන ආකාරය මෙහි වෙයි. රිවස් වන්නන්ට ටර්න්වීමක් නැති ජීවිතය ගැන මෙහි කියයි. ටර්න් වන්නන් ඒ රිවස් වන්නන්ට අභියෝගයක් වන තරම මෙහි පෙන්වයි. රිවස්වන්නන්ගේ පැවැත්ම සහ ගැලවීම යනු උණඩයයි.මැරෙන්නා විසින් මරන්නා වෙත වෙඩි තැබෙන මෙහි දෙබසක් මෙපරිදිය. ‘සර්ලා මරන්නේ පඩියට. අපි මරන්නේ කුලියට. සමහරු එකපාර මැරෙනවා. සමහරු ටික ටික මැරෙනවා. ඒක සොබා දහම’ මේ චේතනාන්විත මරණය විසින් උපද්දවන චේතනාවකි. එනම් වඩාත්ම සුදුස්සා පමණක් සිය පැවැත්ම සාදාගන්නා සත්‍යයයි. පහත් බිම් දිගේ හමා එන චන්ඩ මෝසම් සුළඟටත් නොසැලී, නොමැරී බලපවත්නේ සොබා දහම පිළිබඳ නියාමය පමණකි. මෙතරම් වූ සොබාදහම විසින් තමා වෙත හමා එන සැඩ බලවේග ‘රිවස්’ කර දමයි. මෙතරම් සත්‍ය වූ රිවස්ටන් මුදුනත තෙක් මුළු චිත්‍රපටය පුරා ගමන් කරන අබලන් පොලිස් ජිප් රියකි. ඉමක් නොදැන අපිද එහි ගමන් කරන්නෙමු. කොල පැහැ පරිසරය තුළ බහාලන නිල් පැහැ චන්ඩ පොලිස් රිය යළි එම පරිසරයෙන් බැහැරට යන දුරරූපයකි. ඊට ගලපන සමීප රූපය වනුයේ නොනවතින සුළඟ සමග පොර බදමින් නොනැසී චංචල වන පොඩි ගස් ගොන්නකි. ඒ සංකේතානුසාරී පැලෑටි යාය සොබා දහමේ තීන්දු කෙතරම් සර්වකාලීනදැයි අවධාරණය කෙරෙනුයේ එලෙසටය.
දෙබස් රහිතව රූප කතාකරවීම සිනමාවේ ප්රකාශනයයි. ‘රිවස්ටන්’ අරභයා මෙතෙක් පවත්නා වූ ප්‍රකට වාච්‍යාර්ථ දිගු දෙබස් ඇසුරෙන් මෙම රූපාවලිය තුල විස්තර කරයි. එම ප්‍රකට අර්ථවලට අමතර නව අරුතක් තමා ගෙනෙනා බව සිනමාකරුවාම ඉදිරියට පැමිණ පූර්වකථන පෑමකි. අප දැකිය යුතු කන්දට ඔහු ඇගිල්ල දිගු කර පෙන්විය යුතුද? එම විස්තරකථනය මෙම රූප කාර්යයේ නව ව්‍යංගාර්ථ ඉංගිත හෑල්ලු කළාවත්ද?
‘රිවස්ටන්’ යන්නට ඇති විවිධ අර්ථවලට වඩා වෙනස්ම තේරුමක් දන්නේ මරණයට නියමව සිටින මේ නිරායුධ තරුණයාටය. ඔහු එය පොලිස් ඝාතකයාට නොකියයි. නොදැනුවත් ඝාතකයාට එය අසා දැනගන්නට තරම් කල්වේලාව්ක්ද නැත. වැටුපට මිනිසුන් මරන්නාට එම ජීවිතය පිළිබඳ වූ ඒ වෙනස් අර්ථය වටහා ගන්නට තරම් මිනිසත් බවක් තිබේද? රන්දිත තම ඉරණම පෙනි පෙනී තිබියදී සිය ඝාතකයන්ට සිය බුද්ධි මහිමය පෙන්වීමට සිතීම නම් පොදු යථාර්ථයට දුරය. නැවතත් මේ ශූර ප්රකාශකයාම සිය ප්‍රකාශන හික්මීම බිඳදමයි. ගුවන් විදුලි ප්‍රශ්නෝත්තර වැඩසටහනක අවසන් ප්‍රශ්නයට ඔහු පිළිතුර දන්නා බව පෙන්වීම ස්වකීය ඇත්ත ප්රශ්නය මොහොතකට යටගැහීමකි. එයද මෙහි ගැඹුර වසන නොගැඹුරු සැරසිල්ලකි. සිරකරුවා මරන්නට ගෙන යන කතාව දිග්ගසමින් ඊට මැදි කරන අතුරු කතා කිහිපයද එසේය. කතාව සහ කතා වින්‍යාසය යනු එකිනෙකට් වෙනස් දෙකකි.






