නිළි රැජින මාලිනිය මූර්තියෙන් දෙව්දුවක් කළ සොඳුරු කලාකරුවා ප්‍රවීණ චිත්‍ර සහ මූර්ති ශිල්පී, කථිකාචාර්ය භරත ලියනගේ ඇත්තෙන්ම මාලිනියද දෙව්දුවක් වැනිය. මෙම පිළිරුව නිර්මාණය වූයේ නිළි රැජින මාලිනිය සිහිගැන්වීම පිණිසයි. එවැනි සුන්දර රුවක් මූර්ති කලාව ඔස්සේ නිර්මාණය කළ මූර්ති ශිල්පී භරත ලියනගේ කවුදැයි යන වග ලොවට හෙළිකළ යුතුය. අප පිළිරුවක් හෝ වෙනත් මූර්ති නිර්මාණයක් කොතැනක හෝ ඉදිකර තිබෙනවා නම් අප බලාසිටින්නෙ ඒ පිළිරුව දෙස පමණි.
විඳීන්නේ එහි සුන්දරත්වය පමණි. එහෙත් එම පිළිරුවට මුවාවී සිටින චරිතය ගැන කතා නොකරයි. ඒ චරිතය කවුදැයි කියා කිසිවෙක් සොයන්නට උත්සාහ නොගනියි.
එහෙත් නිළි රැජින මාලිනියගේ පිළිරුව තැනූ මිනිසා කවුරුන්ද යන්න පිළිබඳ බොහෝ දෙනා තුළ ඇත්තේ කුතුහලයකි. ඒ සොඳුරු මිනිසා ගැන වචන අමුණන්නට තැත් කරන මේ අවස්ථාවේ එක්තරා ගීතයක කොටසක්ද මෙහි සඳහන් කිරීම සුදුසුය .ඒ ප්‍රවීණ ගායක සුනිල් එදිරිසිංහයන් විසින් ගයන,
මම ගියා අවුකන බුදුන්ටත් දෑස් දුන් මිනිසා සොයා.
මාලිනියගේ පිළිරුව පිළිබඳ ලියන මේ මොහොතේ එම ගීතය කාගේ සිතටත් පැමිණීම වැළැක්විය නොහැකිය.
භරත ලියනගේ මූර්ති ශිල්පියා ඉතා නිශ්ශබ්ද සරල මිනිසෙකි. එහෙත් ඔහුගේ නිර්මාණ ගැන සමාජයේ මේ වන විට කතාබහක් ඇතිවී ඇත. මාලිනියගේ පිළිරුව ගැන විවිධ අයුරින් මතවාද ගොඩ නැඟී ඇත.
“එය මාලිනිය වගේ නෙවෙයි”
ඒ පිළිරුව දෙවඟනක වගේ”
මෙවන් වූ අදහස් ඇසෙන මොහොතක, එම පිළිරුව පිටුපස සැඟවී ඇති සත්‍ය කතාව හෙළි කිරීමට භරත ලියනගේ ප්‍රවීණ මූර්ති ශිල්පියා සරසවිය සමඟ එක්වූයේ තවත් පිළිරුවක වැඩ කටයුතු ආරම්භ කිරීමට ඇති වාතාවරණයකය.
-sarasaviya -




