අභාවප්‍රාප්ත ප්‍රකට කවියකු හා නවකතාකරුවකු වූ මහාචාර්ය සිරි ගුනසිංහ සාහිත්‍යධරයා වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ශෝක පණිවුඩයක් නිකුත්කර ඇත.
අග්‍රාමාත්‍යවරයා නිකුත්කළ ශෝක පණිවුඩය පහතින්.
ලාංකේය සාහිත්‍ය කලා ක්ෂේත්රයට අනුපමේය මෙහෙවරක් ඉටුකළ විශිෂ්ට සාහිත්‍යධරයකු, කවියකු, කලා විචාරකයකු, කලා ඉතිහාසඥයකු වන මහාචාර්ය සිරි ගුනසිංහයන් දෙස් විදෙස් පතළ කීර්තිය ඇති මහා ප්රාඥයෙකි. දේශීය සාහිත්‍යය සාම්ප්‍රදායික සීමා මායිම්වලින් ඔබ්බට ගෙන යමින්, ආකෘතිය මෙන්ම අන්තර්ගතය ද නූතනවාදීව ගොඩනගන්නට මහාචාර්ය සිරි ගුනසිංහයන්ගෙන් සිදුවූ ශාස්ත්‍රීය මෙහෙවර අතිශය වැදගත්ය.
කවිය, නවකතාව, සිනමාව, චිත්‍ර, සාහිත්‍ය කලා විචාරය ආදී විවිධ ක්ෂේත්රවල හසළ දැනුමක් සහ අපූර්ව ප්‍රතිභාවක් පළ කළ මහාචාර්ය සිරි ගුනසිංහයන් ඒ සෑම ක්ෂේත්රයකම විප්ලවීය වෙනසක් ඇති කරන්නට සමත් විය. ව්‍යවහාර බස නිර්මාණාත්මක ලෙස ලේඛන කලාවට යොදා ගැනීම සම්බන්ධව මෙන්ම සිංහල කවියේ සාම්ප්‍රදායික රාමුව බිඳ දමමින් නිදහස් ආකෘතිය ප්රබලව කවියට යොදා ගැනීම සම්බන්ධව ද ඔහුගේ මැදිහත් වීම දේශීය සාහිත්‍යයේ ඉදිරි ගමනට අලූත් පන්නරයක් විය.
සිංහල නවකතාවේ ආන්දෝලනාත්මක කෘතියක් වූ හෙවනැල්ල නවකතාව මෙන්ම නිදහස් ආරයේ කාව්‍ය රචනා ඇතුළත් මස් ලේ නැති ඇට, අබිනික්මන, රතු කැකුල කාව්‍ය සංග්රහද ඒ වගට මනා නිදසුන්ය. සම්භාව්‍ය චිත්‍ර කලාව සහ කලා ඉතිහාසය පිළිබඳව මහාචාර්ය සිරි ගුනසිංහයන්ගේ ශාස්ත්‍රීය හැදැරීම් ලාංකේය සාහිත්‍ය කලා ක්ෂේත්රයේ නිම්වළලූ පුළුල් කරන්නට අනගි අත්වැලක් සැපයූ බව අමතක කළ නොහැකිය. එතුමන් විසින්ම තිර රචනය ලියා අධ්‍යක්ෂණය කළ 1967 වසරේ තිරගත වූ සත් සමුදුර චිත්‍රපටය දේශීය සිනමාවේ විශිෂ්ට නිර්මාණ අතර රැඳී පවතින්නකි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සේවය කළ මහාචාර්ය සිරි ගුනසිංහයන් 1970 වසරේ සිට කැනඩාවේ පදිංචිව එහි වික්ටෝරියා විශ්වවිද්‍යාලයේ කලා ඉතිහාසය පිළිබඳ මහාචාර්යවරයකු ලෙස කටයුතු කළ අතර, වරින් වර ලංකාවට පැමිණෙමින් ලාංකේය සාහිත්‍ය කලා ක්ෂේත්රය උදෙසා ස්වකීය දායකත්වය ද නොඅඩුව ලබා දුන්නේය.
“සෑම අලූත් සංකල්පයක් ම සෑම අලූත් අත්දැකීමක් ම ප්‍රකාශ කිරීම සඳහා අලූත් යෙදුමක් අවශ්‍ය” බව ප්‍රකාශ කළ සිරි ගුනසිංහ මහා සාහිත්‍යධරයා ස්වකීය නිර්මාණ කාර්යය තුළ එය යථාර්ථයක් බවට පත් කළේය. මෙබඳු මහා ප්‍රාඥයින් අප අතරින් වියෝ වීම පිරිමැසිය නොහෙන හිස්තැනක් ඇති කරන බවට විවාදයක් නැත.
මහාචාර්ය සිරි ගුනසිංහ මැතිඳුන්ට අමා මහ නිවන් සුව අත්වේවායි ප්‍රාර්ථනය
කරමි.
රනිල් වික්‍රමසිංහ
අග්‍රාමාත්‍ය
2017 මැයි 26