ලන්ඩන් නුවර වෙම්බ්ලි රඟහලේ පැවැත්වුණු A.R. රහමන් සංගීත ප්රසංගයේදී දමිළ ගීත 12 ක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් එල්ල වූ රසික ප්රතිචාර පිළිබඳ ලතා මන්ගේෂ්කර් සිය අසතුට පල කර ඇත.
ජූලි 8 වැනිදා පැවැත්වුණු “නෙට්රු, ඉන්රු ,නාලෙයි” ප්රසංගයේදී හින්දි ගීත 16 ක් සහ දමිළ ගීත 12 රහමන්විසින් ගයනා කර තිබුණි.
ඒ හේතුවෙන් පිරිසක් රඟහලෙන් පිටව ගොස් ඇත.
ප්රසංගයෙන් අනතුරුව හින්දි ගීත වෙනූවට දමිළ ගීත ගායනා කිරීම පිළිබඳව සමාජ ජාලා ඔස්සේ ද දෝෂාරෝපණ එල්ල කර තිබේ.
කෙසේ වෙතත් දශක හතකට වැඩි කාලයක් ප්රසංග සඳහා සිය දායකත්වය ලබා දෙන ගීත කෝකිලාවිය ලතා මන්ගේෂ්කර් පවසා ඇත්තේ සිය ජිවිත කාලය තුළ කිසිම රසිකයකු ගීතයක භාෂාව පිළිබඳ දෝෂාරෝපණ එල්ල කර නැති බවයි.
ඇය විසින් බෙන්ගාලි, පන්ජාබි සහ දොන්ග්රි ගීත පවා ගායනා කර තිබුණි.
පෙර පරම්පරාව විවිධ භාෂා වලින් ගීත ගායනා කරන අයුරු අහන්නට ප්රිය කළ බවත් ඔවුන් ගීතයේ මිහිර ගැන පමණක් අවධානය යොමු කළ බවත් ඇය පැවසිය.
රහමන් විසින් සංගීත නිර්මාණය කළ මනි රත්නම්ගේ “දිල් සේ” චිත්රපටය සඳහා ලතා මන්ගේෂ්කර් ගයනා කළ “ජිය ජලේ” ගීතය ප්රේක්ෂකයන් අතර අදටත් නොමැකෙන මතක සටහන් තබා ඇත.