යාපනය අන්තර්ජාතික සිනමා උලෙළ එළැඹෙන සැප්තැම්බර් 15 වැනිදා සිට 20 වැනිදා දක්වා යාපනයේ කාගිල්ස් චතුරස්රයේ මැජෙස්ටික් සිනමා සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතය.
යාපනය විශ්වවිද්‍යාලයේ සෞන්දර්ය කලා අංශය, සිලෝන් තියටර්ස්, සහ අජෙන්ඩා 14 ආයතනය එක්ව සංවිධානය කරන තෙවැනි වතාවට පැවැත්වෙන මෙවර සිනමා උලෙළේ සමාරම්භය සිදු වන්නේ 15 වැනි සිකුරාදා පෙරවරු 10.00ට ය.
ප්‍රවීණ සිනමා නිර්මාණකරු ආචාර්ය ධර්මසේන පතිරාජයන්ගේ සහ ප්‍රංශ නව රැල්ලේ පුරෝගාමි සිනමාකාරිය වන ඇනියේස් වර්ධා ප්රත්යවලෝක සිනමා දැක්මක් මෙම උළෙලට සමගාමීව පැවැත්වීමට සංවිධායකයන් කටයුතු යොදා ඇත.
අහස් ගව්ව, පාර දිගේ, බඹරු ඇවිත්, සොල්දාදු උන්නැහේ සහ මතු යම් දවස යන පතිරාජයන්ගේ නිර්මාණ එහිදී නැරඹීමේ අවස්ථාව උදා වන බව සංවිධායකයෝ පවසති.
ශ්‍රී ලංකාව ඇතුළුව ප්‍රංශය, ජර්මනිය, බ්‍රිතාන්‍ය, අමෙරිකා එක්සත් ජනපදය, චීනය, ඔස්ට්‍රේලියාව, ඉතාලිය, ඉන්දියාව, නෙදර්ලන්තය, ස්විට්සර්ලන්තය, රුමේනියාව, චෙක් ජනරජය, පෝලන්තය, ක්‍රොඒෂියාව, කැනඩාව, බංග්ලාදේශය, සිංගප්පූර්ව, ස්ලොවැකියාව, බෙල්ජියම, චිලී, පකිස්තානය, නේපාලය, කොලොම්බියාව සහ වියට්නාමය යන රටවල් නියෝජනය කරමින් කෙටි, වාර්තා සහ වෘතාන්ත චිත්‍රපට සියයක් පමණක් තිරගත කිරීමට නියමිතය.