ලොව සුප්‍රකට ප්ලේබෝයි සඟරාවේ නිර්මාතෘ වන හියු හෙෆ්නර් සිය දිවියෙන් සමුගෙන ඇතැයි වාර්තා වේ.
මියයන විට 91 වියේ පසුවූ ඔහු ස්වභාවික හේතු නිසාවෙන් සිය නිවසේදී අවසන් හුස්ම හෙළු බව ප්ලේබෝයි සමාගම විසින් නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වේ.
1953 වසරේදී ඩොලර් 600 ක් ආයෝජනය කර පිරිමි පාඨකයන් ඉලක්ක කර ගනිමින් ආරම්භ කළ ‘ප්ලේබෝයි’ සඟරාව” අවසානයේ වසර කිහිපයක් ඇතුළත මිලියන ගණනක් වූ ප්ලේබෝයි ව්‍යාපාරයක් බවට පත් කර ගැනීමට හියු හෙෆ්නර් සමත් විය. මේ වන විට ලොව ජනප්‍රියතම ඇමෙරිකානු සන්නාම නාමයක් බවට පත්වී ඇති ප්ලේබෝයි වර්තමානයේදී රටවල් 20ට අධික ප්‍රමාණයක ප්‍රකාශයට පත් කරනු ලබයි.
70 දශකය වන විට ‘ප්ලේබෝයි’ යන්න ගෘහස්ථ සන්නාමයක් වන තරමට ලොව පුරා ඔහු විසින් ඇති කළ ලිංගික සංස්කෘතිය, ඉතා ඉහළ වෙළඳපළ අගයක් අත්පත් කර ගෙන තිබිණි. 70 දශකයේ ඇමරිකාවේ ටෙලිවිෂන් වැඩසටහන්වල, ජෑස් සැණකෙළිවල වෙන් කළ නොහැකි අංගයක් බවට ප්ලේබෝයි පත්විය. ‘බනි ඉයර්ස්’ සහ ‘කොට්න් ටේල්ස්” සහිත, කොක්ටේල් වේටර්වරියන් සහිත ප්ලේබෝයි සමාජ ශාලා සංස්කෘතිය ඇතිවූයේ ද මේ හරහා ය.
හියු හෙෆ්නර් ජීවත් වුයේ ඔහු මෙන් තුනෙන් එකකටත් වඩා වයසින් අඩු රූමතියන් පිරිවරාගෙන ප්ලේබෝයි මන්දිරයේ ය. එම සුරූපිනියන් ‘ප්ලේ මේට්ස්’ යනුවෙන් හැඳින්වුණු අතර ඔහුගේ සඟරාව සැරසීමට ද ඔවුන් යොදාගැනුණි. කෙසේ නමුත් මෑත කාලයේදී ඔහු අනාවරණය කර තිබුණේ තමන් දැඩි සේ ව්යාඝ්රා භාවිතයට ඇබ්බැහි වූ අයෙක් බවයි.