බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ (Theresa May) ඊයේ බදාදා (04) පාලක කොන්සර්වේටිව් පක්ෂයේ වාර්ෂික සම්මේලනය අමතමින් සිටියදී වේදිකාව අබියසට ගොස් ඇය 'අගමැති පදවියෙන් ඉවත් කෙරෙන' බව සඳහන් ලිපියක් අගමැතිවරියගේ අතටම භාර දුන් පුද්ගලයා කිසිදු චෝදනාවකින් තොරව මුදා හරිනු ලැබ ඇත.
සයිමන් බ්රොඩ්කින් (Simon Brodkin) නමැති ඉංග්‍රීසි ජාතිකයා මැන්චෙස්ටර් නගරයේ පැවැත්වුන පක්ෂ සමුළුව අමතමින් සිටි අගමැතිවරිය අබියසට ගොස් ඇය අතටම දෙන ලද්දේ මහා බ්‍රිතාන්‍යයේ වෘත්තිකයෙක් රැකියාවෙන් ඉවත්ව යන විටක හෝ නෙරපා හරිනු ලැබීමක දී ඔහු හෝ ඇයට දෙනු ලබන P45 අංකය දරන ලේඛනයකි.
අගමැතිනි තෙරේසා මේ වෙත එවැනි ව්‍යාජ ලිපියක් ඉදිරිපත් කරනු ලබන ආකාරය එක්සත් රාජධානියේ සියලුම ප්‍රධාන රූපවාහිනී නාලිකා මගින් සජීවී මට්ටමින් ප්‍රචාරය කෙරුණ අතර බදාදා සන්ධ්‍යාවේ පටන් බ්‍රහස්පතින්දා තෙක් සියලුම විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයන්හි ප්‍රධාන සිරස්තලය බවට එය පත්ව ඇත.
P45 ලේඛනයට අත්සන තබන බලධාරියාගේ නම සඳහන් කළ යුතු ස්ථානයේ විදේශ ඇමති බොරිස් ජොන්සන් ගේ නම පැහැදිලි අකුරින් ලියා ඇත.
තෙරේසා මේ අගමැති පදවියෙන් ඉවත් කෙරෙන බව දැක්වෙන එම ලිපිය ඇය අතටම භාර දුන් සයිමන් බ්රොඩ්කින් (Simon Brodkin) හාස්‍ය ජනන අවස්ථා නිරූපනය සම්බන්ධයෙන් ප්‍රකට චරිතයකි.
"තෙරේසා මේ ශක්තිමත් හෝ ස්ථාවර නායිකාවක් නොවීම" අගමැතිවරිය පදවියෙන් ඉවත් කිරීමට හේතුව හැටියට එම ව්‍යාජ P45 ලේඛනයේ දැක්වෙයි.
සයිමන් බ්රොඩ්කින් (Simon Brodkin) එම ලිපිය තමාට යොමු කරද්දී සිය කතාව මඳක් නතර කළ අගමැතිවරිය එය 'තමාට නොව (විපක්ෂ නායක) ජෙරමි කෝබින් අතට පත් කළ යුතු එකකැයි' සිනාමුසුව ප්‍රකාශ කළාය.
අගමැතිවරිය පදවියෙන් ඉවත් කෙරෙන බව දැක්වෙන ව්‍යාජ P45 ලේඛනයට අත්සන තබන බලධාරියාගේ නම සඳහන් කළ යුතු ස්ථානයේ විදේශ ඇමති බොරිස් ජොන්සන් ගේ නම පැහැදිලි අකුරින් ලියා ඇත.
"මම ඔබේ ලිපිය අගමැතිනියට භාර දුන්නා"
තෙරේසා මේ වෙනුවට අගමැති පදවිය දෙස ඇස ගසා සිටින තැනත්තා ලෙස බ්‍රිතාන්‍ය දේශපාලන ලෝකයේ කියැවෙමින් ඇති ප්‍රධාන නම බොරිස් ජොන්සන් ය.
අගමැතිවරියට අදාළ ලිපිය භාරදුන් සයිමන් බ්රොඩ්කින් (Simon Brodkin) ඊ ලඟට කෙළින්ම ගියේ සමුළු ශාලාවේ ඉදිරි පෙළේ අසුන් ගෙන සිටි බොරිස් ජොන්සන් වෙතයි.
බොරිස් ජොන්සන්ට ලඟා වෙමින් ඔහු ඉදිරිපිට මඳක් නැවුන සයිමන් බ්රොඩ්කින් " මම ඔබේ ලිපිය තෙරේසාට භාර දුන්නා" යනුවෙන් ප්‍රකාශ කළේය.
ඒ සමඟ ආරක්ෂක නිලධාරීන් විසින් ඉවත් කරන ලද සයිමන් බ්රොඩ්කින් (Simon Brodkin) මැන්චෙස්ටර් නාගරික පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුනත් කිසිදු චෝදනාවකින් තොරව මුදා හරිනු ලැබුණි.
කෙසේවුවද, සයිමන් බ්රොඩ්කින් කිසිදු බාධාවකින් තොරව අගමැතිවරිය වෙත කිට්ටු වීම මුල්කර ගනිමින් ආරක්ෂක විධි විධාන සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමු වෙමින් පවතී.
සයිමන් බ්රොඩ්කින් (Simon Brodkin)
සයිමන් බ්රොඩ්කින්ගේ බාධා කිරීමෙන් අනතුරුව දිගින් දිගට මතු වූ කැස්සක් නිසාත් අගමැතිවරියට සිය කතාව අතරමඟ නතර කිරීමට සිදු විය.
සිය නායිකාව මුහුණ දී සිටින දුෂ්කරතාව තේරුම් ගත් භාණ්ඩාගාර ලේකම් පිලිප් හැමන්ඩ් (PHILIP HAMMOND) වහා ඉදිරිපත්ව අගමැතිවරියට ලොසින්ජරයක් දුන් අතර ඇය අත ඔසවා එය සභාවට පෙන්වා මුවෙහි දමා ගත්තාය.
මැන්චෙස්ටර් සමුළුවේ දී අගමැතිනි තෙරේසා මේ මුහුණ දුන් තත්වය මේ වනවිට දේශපාලන සංවාදයක් බවට පත්ව ඇත.
අගමැතිවරියගේ 'ශක්තිමත් නායකත්වය' පිළිබඳ ප්‍රශ්න ගැන මෙන්ම සිය කැබිනට් සගයන් විසින් ඇයට එරෙහිව සිදු කරමින් ඇති කුමන්ත්‍රණ පිළිබඳවත් එම සංවාදය තුළ කියැවීමට ලැබෙයි.
බීබීසී සංදේශය