වසර දාහතරකට පසු යළිත් වතාවක් ආසියානු කලාපීය 'හොඳම නිළිය' ලෙසින් අනෝමා ජනාදරී කිරුළ පළඳි
ඇමෙරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් නුවර ඊයේ (2017.11.02) නිමාව දුටු 03 වෙනි ආසියානු ජගත් සිනමා උළෙලේදී (3rd Asian World Film Festival) , විශිෂ්ටතම කාන්තා ප්‍රධාන රංග භූමිකාව වෙනුවෙන් පිරිනමන ‘Best Lead Actress’ නම් වූ සම්මානයෙන් පිදුම් ලැබීමට සංජීව පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කල ‘දැවෙන විහඟුන්’ (Burning Birds) සිනමාපටයේ ‘කුසුම්’ගේ චරිතයට පණපෙවූ අනෝමා ජනාදරී සමත් වූවාය.
1998 වර්ෂයේ තිරගතවූ අශෝක හඳගමගේගේ 'චන්ද කින්නරී ' සිනමා සිත්තම හරහා ශ්‍රී ලාංකේය රිදී තිරය ස්පර්ශ කල අනෝමා ජනාදරී, ‘දැවෙන විහඟුන්’ සිනමාපටය හරහා ලද පෙරකී ජයග්‍රහණය ඇය සිය සිනමා රංගන ගමන් මගේ ලද දෙවැනි අන්තර්ජාතික සිනමා සම්මාන ජයග්‍රහණය ලෙසත්, 70 වසරක් ඉක්මවූ ශ්‍රී ලාංකේය සිනමා ඉතිහාසයේ දේශීය නිළියක දීර්ඝ වෘත්තාන්ත සිනමාපටයක් (Long Feature Film) තුල මුදා හල රංග විශිෂ්ටත්වය වෙනුවෙන් ලද 19 වෙනි අන්තර්ජාතික ජයග්‍රහණය ලෙසත් ඉතිහාසයට එක්විය. මිට පෙර 2003 වර්ෂයේ සිංගප්පුරුවේ පැවති 16 වෙනි සිංගප්පූරු අන්තර්ජාතික සිනමා උළෙලේදී අශෝක හඳගමගේගේ ‘තනි තටුවෙන් පියාඹන්න' සිනමාපටය හරහා හොඳම ආසියානු කලාපීය සිනමා නිළියට පිරිනමන ‘Silver Screen Award for Best Actress’ සම්මානයෙන් පිදුම් ලද ඇය , වසර 14 කට පසුව යලිත් වතාවත් ආසියානු කලාපීය සිනමාපට උදෙසා වෙන්වූ සිනමා උළෙලකදී ‘හොඳම නිළිය’ ලෙසින් කිරුළ දැරීම කැපීපෙනේ.
2015 වර්ෂයේදී සමාරම්භය සනිටුහන් කල ලොස් ඇන්ජලීස් ආසියානු ජගත් සිනමා උළෙලේ තරඟකාරී අංශය (Official Selection- Competition), ලෝ ප්‍රකට ඔස්කාර් සහ ගෝල්ඩන් ග්ලෝබ් යන ඇමෙරිකානු සිනමා සම්මාන උළෙලයන්හී හොඳම විදෙස් භාෂිත සිනමාපටය (Best Foreign Language Film) සඳහා වූ තරඟ අංශය වෙනුවෙන් නිළ වශයෙන් අයදුම්පත් යොමුකළ ආසියානු කලාපීය රටවල දීර්ඝ වෘත්තාන්ත සිනමාපට (Long Features) උදෙසා වෙන්වන අතර, ඒ අනුව ශ්‍රී ලංකාව, ඉරානය, ඉරාකය, සිංගප්පුරුව, දකුණු කොරියාව, පකිස්ථානය, ඉන්දුනීසියාව ඇතුළු රටවල් 16 ක සිනමාපට තරඟකාරී වටය සඳහා සුදුසුකම් ලබා තිබුණි. මෙම සිනමා උළෙල ‘දැවෙන විහඟුන්’ සිනමාපටය නියෝජනය කල දහසය වෙනි (16) අන්තර්ජාතික සිනමා උළෙල වූ අතර , ලද සම්මානය ‘දැවෙන විහඟුන්’ සිනමාපටය මේ දක්වා ලද සිව්වන (04) අන්තර්ජාතික සම්මාන ජයග්‍රහණය ලෙසින් වාර්තා පොත් අතරට එක්විය. එසේම මෙකී ජයග්‍රහණය සංජිව පුෂ්පකුමාර සිය සිනමා නිර්මාණයන් උදෙසා ලද නමවෙනි (09) අන්තර්ජාතික සිනමා සම්මාන ජයග්‍රහණය බවට පත්විය.
(1947- 2017) දෙස් විදෙස් සිනමාපට උදෙසා අන්තර්ජාතික සම්මානයෙන් පිදුම් ලැබූ ශ්‍රී ලාංකේය රංගන ශිල්පිනියන්.....
1. මාලනී ෆොන්සේකා (එයා දැන් ලොකු ළමයෙක්, සිරිපාල සහ රන් මැණිකා, ආකාස කුසුම්)
2. අනෝජා වීරසිංහ (මල්දෙණියේ සිමියොන්)
3. නීටා ප්‍රනාන්දු (පවුරු වළලු)
4. නිත්‍යවානි කන්දසාමි (සරෝජා , පුංචි සුරංගනාවී)
5. ප්‍රමුදි කරුණාරත්න (සරෝජා)
6. අනෝමා ජනාදරී (තනි තටුවෙන් පියාඹන්න, දැවෙන විහඟුන් )
7. දමිතා අබේරත්න (සුළං කිරිල්ලි)
8. නිම්මි හරස්ගම (ඉර මැදියම)
9. සරලා කාරියවසම් (වෝටර්- ඉන්දියානු සිනමාපටයකි)
10. චාන්දනී සෙනෙවිරත්න (නිකිණි වැස්ස)
11. යශෝධා රසඳුනි (සයපෙති කුසුම හෙවත් Frangipani)
12. බීනූ අසල්යා ශ්‍රී කුමාර (නිහඬ කඳුළු බිඳු හෙවත් Silent Tears- මෙය කෙටි සිනමාපටයකි)
13. කෞශල්‍යා ප්‍රනාන්දු (බොරදිය පොකුණ)
සටහන - උදිත ලක්මාල් කහඳවාරච්චි