මේ දිනවල විකාශය වන ටෙලි නාට්‍ය අතරින් වැඩිම ප්‍රේක්ෂක අවධානයක් හිමිකරගෙන තිබෙන ටෙලි නාට්‍ය මොනවාද කියලා විමසා බැලුවොත් ඒ අතර මුල් තැනක් “ස්වාධීන රුපවාහිනියෙන් විකාශය වන “කූඹියෝ” ටෙලි නාට්‍යයට හිමිවන බව රහසක් නොවෙයි. “කූඹියෝ” කෙරෙහි ප්‍රේක්ෂකයන් දක්වන අවධානය, එය විකාශය වන කාල සීමාවට පමණක් සීමා වී නොමැති බව මේ දිනවල සමාජ ජාල වෙබ් අඩවි පරිහරණය කරන ඕනෑම කෙනෙකුට වැටහෙන කාරණයක්. මොකද බොහෝ දෙනා සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේද කූඹියෝ ගැන සිය අදහස් එළි දැක්වීමට පටන් ගෙන තිබෙනවා.
අද වන විට ප්‍රේක්ෂකයන් තුළ විශාල පිබිදීමක් ඇති කිරීමට සමත්ව තිබෙන ටෙලි නාට්‍යයක් බවට “කූඹියෝ” පත්ව තිබුණත් ටෙලි නාට්‍යයේ වැඩ කටයුතු නිම කිරීමේ සිට එය ස්වාධීන රූපවාහිනියෙන් විකාශය කිරීම සඳහා අනුමැතිය ලබා ගැනීම දක්වා වූ ගමන නම් “කූඹියෝ” අධ්යක්ෂවරයා ඇතුළු කණ්ඩායමට ඒ තරම් සුබදායක එකක් බවට පත්වෙලා නැහැ. මේ නිසාම “කූඹියෝ” ටෙලි නාට්‍යය විකාශය කිරීම සඳහා රූපවාහිනී නාලිකාවක් සොයාගත නොහැකිව වසර දෙකක පමණ කාලයක් නිකරුනේ ගෙවා දැමීමට එහි අධ්යක්ෂවරයා වන ලක්මාල් ධර්මරත්නට සිදුවී තිබෙනවා. ඒ පිළිබඳව ඔහු අපට විස්තර කළේ මේ විදිහටයි.
“ටෙලි නාට්‍යයේ වැඩ නිම කරලා රූපවාහිනී නාලිකා ගානේ යද්දි ඒ ගොඩක් අය මේක තුට්ටු දෙකට ඉල්ලුවා. අපි බලාපොරොත්තු වූ මුදල ඔවුන්ගෙන් ලැබුණේ නෑ. සමහර නාලිකා අපට කිව්වා සොරුන්ගේ චරිත ඉස්මතු කරන ටෙලි නාට්‍ය අපි විකාශය කරන්නේ නෑ කියලා. ඒ විදිහට අපේ ටෙලි නාට්‍යය ප්‍රතික්ෂේප වෙමින් තිබියදී තමයි ස්වාධීන රූපවාහිනියට දෙවැනි වතාවටත් ඉදිරිපත් කළ අවස්ථාවේ එහි වත්මන් සභාපති සමන් අතාවුදහෙට්ටි සහ ක්‍රියාකාරි අධ්යක්ෂ විමල් කැටිපෙආරච්චි යන මහත්වරුන්ගේ මැදිහත් වීමෙන් එය විකාශය කිරීම සඳහා අවස්ථාව හිමි වුණේ.”
විවිධ හේතූන් මත දිගින් දිගටම ප්‍රතික්ෂේප වෙමින් තිබුණු ටෙලි නාට්‍යයකට දොරටු විවර කළේ ඇයි කියලා ස්වාධීන රූපවාහිනී සේවයේ ක්‍රියාකාරී අධ්යක්ෂ විමල් කැටිපෙආරච්චි මහතාගෙන් අපි විමසුවා.
මීට පෙර ප්‍රතික්ෂේප වී තිබූ ටෙලි නාට්‍යයක් වන “කූඹියෝ” සඳහා අවස්ථාව ලබාදීමට තීරණය කළේ ඇයි?
ටෙලි නාට්‍යය විකාශය කිරීමේදී විවිධ දූෂණ සිදුවන බවට එක්තරා කාලයක ස්වාධීන රූපවාහිනියටත් චෝදනා එල්ල වුණා. මේ නිසා ස්වාධීන රූපවාහිනි සේවයේ වත්මන් සභාපති සමන් අතාවුදහෙට්ටි මහතා තීන්දුවක් ගත්තා ටෙලි නාට්‍යය තෝරා ගැනීම සඳහා නිශ්චිත ක්‍රමවේදයක් ඇති කිරීමට. ඒ අනුව පත් කරන ලද කමිටුවක් මගින් ටෙලි නාට්‍යවල ප්‍රමිතිය සහ කලාත්මක අගය යනාදි සාධක ගැන සලකා බලලා ලබාදෙන නිර්දේශයන්ට අනුව තමයි ස්වාධීන රූපවාහිනියෙන් විකාශය කරන ටෙලි නාට්‍යය මොනවාද කියලා දැන් තීරණය කරන්නේ. “කූඹියෝ” කියන්නෙත් එම ක්‍රමවේදයට අනුව තෝරා ගන්නා ලද ටෙලි නාට්‍යයක්.
ටෙලි නාට්‍යයෙන් කියැවෙන්නේ හොරෙක් ගැන වීම නිසයි ඇතැම් නාලිකා එය ප්‍රතික්ෂේප කර තිබෙන්නේ. ස්වාධීන රූපවාහිනියට එම කාරණය ගැටලුවක් වුණේ නැද්ද?
කිසිසේත්ම නැහැ ටෙලි නාට්‍යයෙන් කියැවෙන්නේ හොරෙක් ගැනද එහෙමත් නැත්නම් වෙනයම් කෙනෙක් ගැනද කියලා බලලා තීන්දු තීරණ ගන්න විදිහේ ප්‍රාථමික තැනක ඉඳලා, නෙවෙයි දැන් ස්වාධීන රූපවාහිනිය ටෙලි නාට්‍යය තෝරාගන්නේ. සමාජයේ කතිකාවක් ඇති කළ හැකි සහ ප්‍රේක්ෂකයන් ආකර්ෂණය කරගත හැකි ටෙලි නාට්‍යයක් නම් ඒ සඳහා අනිවාර්යයෙන්ම ඊට ස්වාධීන රූපවාහිනියේ ඉඩකඩ වෙන් වෙනවා.
සමීක්ෂණ වාර්තාවලට අනුව අද වන විට “කූඹියෝ” ඉදිරියෙන් සිටිනවා කියලා කියන්න පුළුවන්ද?
සමීක්ෂණ වාර්තාවල ප්‍රතිඵල ලැබෙන්න කාලයක් ගතවෙනවා. නමුත් “කූඹියෝ” ගැන සමාජයේ ඇති වී තිබෙන කතිකාවෙන් අපට වැටහෙනවා, එය අනෙකුත් ටෙලි නාට්‍ය අතර ඉදිරියෙන් සිටින බව.
කිෂාන් කනංකෙ