2018 වසරේ හොලිවුඩය, බොලිවුඩය පවා පරදවන තරු සහ අධ්යක්ෂවරු අතර ද්වන්ධ සටන් ඇතිකරන සිනමා නිර්මාණ එළි දකින්නේ ටොලිවුඩය (තෙලිඟු සිනමාව), කොලිවුඩය (දමිළ සිනමාව), මොලිවුඩය (මලයාලම් සිනමාව ) ඇතුළත් දකුණු ඉන්දීය සිනමාවෙනි. ඒ රජිනිකාන්ලා, කමල් හසන්ලා රජ කරන්නේ දකුණු ඉන්දීය සිනමාවේ නිසාය.
දකුණු ඉන්දියානුවන්ගේ නව වසර උදාවන තයිපොංගල් සතුට සමරන දිනයේ ඔවුන් තිරයේ පළමු වෙඩි මුරය පත්තු කරයි. එදිනට දමිළ සිනමා පට 11 ක් පමණ තිරගත වීමට නියමිතය. ඒ අතර රෝජා, බොම්බේ ආදී සිනමා පටවලින් ශ්‍රී ලංකේය ප්‍රේක්ෂකයන් අතරත් අතිශය ජනප්‍රිය වූ අරවින්ද් ස්වාමි රඟන ‘බාස්කර් ඔරු රාස්කල්’, ‘නාරගසුරන්’ සිනමා පටය ද තිබේ. මෙහි ඔහුගේ තිරයේ පෙම්වතිය වන්නේ සුරූපී අචලා පෝල්ය ‘වනගමුදි’ ඔහුගේ තවත් රංගනයකි. තවත් ශ්‍රී ලංකේය රසික හදවත් දිනාගත් තරුවක් වූ ප්‍රභූදේවා, හංසිකා මොට්වානි හා රේවති සමඟ රඟන ‘ගුලේ බාගාවලි’ ද තිරගත වන්නේ එදිනය.
නව වසරේ ප්‍රේක්ෂකයන්ගේ දැවැන්තම බලාපොරොත්තුවක් වූ රජිනිකාන්ත් වීරයාටත් බොලිවුඩයේ අක්ෂේකුමාර් දුෂ්ටයාටත් රඟන ඇමී ජැක්සන් ප්‍රධාන තාරකාව වන රජිනිගේ රොබෝ සිනමාපට මාලාවේ දෙවැන්න 2.0 තිරගත වන්නේ අප්‍රේල් 14 වැනි දිනය. එය ඉන්දියාවේ වැඩිම වියදමක් දරා නිපද වූ සිනමා පටයවේ. මෙය භාෂා 15 කින් ලොව පුරා තිරගත වීමට නියමිතය. ‘කාලා’ රජිනි රඟන 2018 වසරේ රසික පිපාසය සන්සිඳින අනෙක් සිනමා නිර්මාණයයි.
ප්‍රේක්ෂකයන් රජිනිකාන්ගේ ප්‍රතිමල්ලවයා කරගෙන සිටින එලෙසම දකුණු ඉන්දියාවේ ඔහු සමඟ කරටකර සිටින කමල් හසන්ගේ විශ්වරූපම් 2 තිරගතවේ. එය 2013 තිරගත වූ විශ්වරූපම් සිනමා පටයේ දෙවැන්නයි. ‘සාබාෂ් නායිදු’ කමල් හසන් රඟන දෙවැන්නයි. එහි ඔහුගේ වැඩිමල් දියණිය ඍති හසන් රැඟීමත් ප්‍රේක්ෂකයන්ට සුවිශේෂී අත්දැකීමක් වනු ඇත. පියාගේත් දියණියගේත් රංගන කුසලතා ප්‍රේක්ෂකයන්ට එකම සිනමාපටයකින් දක්නට ලැබෙන්නේ ප්‍රථම වරටය. විශ්වරූපම්2 රහස් පරීක්ෂක ක්‍රියාදාම සිනමා පටයේ තිර කථා රචනය සහ අධ්‍යක්ෂණය ද කමල් හසන්ගේමය.
‘ඉන්ඩියන් 2’ කමල්ගේ නව වසරේ තිරගතවන සිනමාපට නාම ලේඛනයේ අඩංගු තවත් නමකි. එහෙත් තවමත් එය රූ ගත කෙරෙමින් පවතී.
බාහුබලි 1,2 සිනමා පට ද්විත්වයෙන් රජිනිකාන්ගේ අනු ප්‍රාප්තිකයා විය හැකි බවට පෙරනිමිති පළ කර සිටින ප්‍රභාස්ගේ නවතම රංගනය ඇතුළත් වන්නේ මේ වසරේ තිරගත වීමට නියමිත ‘සහෝ’ සිනමා පටයටය. එය තෙළිඟු, දමිළ, හින්දි භාෂා ත්‍රිත්වයෙන් ම තිරගත කිරීමට කටයුතු යොදා ඇත. සාඕ පළමු පෝස්ටරය නිකුත් කෙරුණේ ප්‍රභාස්ගේ 38 වැනි උපන් දිනය යෙදෙන 23 වැනි දිනයටය.
ප්‍රභූ දේවාගේ රංගනය මේ වසරේ සිනමාපට කිහිපයකින්ම දැකිය හැකිය. ලක්ෂ්මී, චාලි චැප්ලින් 2, මර්කරි, යුං මුං සුං ඒ අතරින් ප්‍රධානය. දමිළ සිනමාවේ 2018 වසරේදී වැඩියෙන් නැරඹීමට ලැබෙන මුහුණ බවට පත්වී ඇත්තේ ප්‍රභූදේවාගේ මුහුණය. එමෙන්ම ඔහු රඟන සිනමාපටද සුවිශේෂීය.
තයිපොන්ගල් දිනයේ තිරගවන ගුලේබගාවලි 1935 තිරගත වූ සිනමා පටයේ ප්‍රති නිර්මාණයකි . 1955 දී ද සිනමා පටය ප්‍රති නිර්මාණය වී තිබේ. ප්‍රභූදේවා හන්සිකා මොට්වානි තිරයේ පෙම්වතිය ලෙසින් හමුවන්නේ ප්‍රථම වරටය. ‘මර්කරි’ සිනමා පටයේ දුෂ්ටයකු සේ රඟන ප්‍රභූදේවා යුං මුං සුං සිනමා පටයේ කවටයකුවේ.
ප්‍රභූදේවාගේ සැබෑ ජීවිතයේ පෙම්වතිය වී සිටි නයනතාරා ද කොලෙයියුතිර් කාලම්, කොල මාවු කෝකිලා 2018 තිරගත වන්නේ තවත් සම්මානනීය බලාපොරොත්තු එක්කරමිනි. ඇය දමිළ සිනමා රංගනයට සේම මලයාලම් සිනමා රංගනයට ද සම්මාන දිනා ගත් නිළියකි. ඇය හොඳම නිළිය ලෙස ‘නුතිය නියාමම්’ මලයාලම් සිනමා රංගනයට සම්මාන දිනා ගත්තේ පසු ගිය වසරේය.
රජිනි කාන්ගේ බෑනා, ධනුෂ්ගේ ‘මාරි2’ එනායි නොකි පායුම් තොට, වාදා චෙනායි, ද එක්ස්ට්‍රාඕඩිනරි ජර්නිඔෆ්ද ෆකීර් සිනමාපට තුනකින් හමුවීමට නියමිතය. ඔහු ‘වයි දිස් කොලවරි දි’ ගීතය සමඟ ගායකයකු ලෙසින්ද අන්තර් ජාතිකව ජනප්‍රිය විය. මාරි 2. 2015 තිරගත වූ ‘මාරි’ සිනමාපටයේ දෙවැන්නයි.
පසුගිය වසරේ මෙර්ෂල් මඟින් දකුණු ඉන්දීය සිනමාවේ ආදායම් වර්තා පිහිටුවීමෙන් දැවැන්ත වෙනසක් කළ මෙර්ෂල් සිනමා පටයේ වීරයා, බොහෝ දෙනෙක් රජිනිගේ අනුප්‍රාප්තිකයා ලෙස සලකන විජේගේ එක් සිනමා පටයක් වත් 2018 දකුණු ඉන්දීය සිනමාපට නාමාවලියට තවමත් එක් වී නැත.
දකුණු ඉන්දීයා සුරූපී තාරකා දිඳුළන සිනමාපට රාශියකි. තමන්නාගේ ‘පොත් ඔන්රු කන්දේන්’ ‘ස්කෙච්’ , ක්වීන් වන්ස් අගේන් ඇතුළු සිනමාපට කිහිපයක් ම ඒ අතර ඇත. ස්කෙච් ක්‍රියාදාම, ත්‍රාසජනක සිනමා නිර්මාණයක් වන අතර එහි තිරයේ වීරයා වන්නේ වික්රම්ය. ‘ක්වීන්’2014 තිරගත වූ සිනමාපටයේ දෙවැන්න ‘ක්වීන් වන්ස් අගේන්’ 2018 තිරගතවේ.
කාජල් අග්‍රවාල්ගේ පැරිස් පැරිස්, අමලා පෝල්ගේ බාස්කර් ඔරු රාස්කල්, සින්ඩරෙල්ලා 2018 වසරේ දක්නට ලැබෙන සිනමාපට අතරවේ.
‘තනා සන්ධා කූට්ටම්’ දමිළ සිනමාවේ තවත් ජනප්‍රිය නළුවකු වූ සුරිය ‘තයිපොංගල්’ දිනයට රසිකයන්ට තිළිණ කරන සිනමා නිර්මාණයයි. ත්‍රිෂාගේ මෝහිනී, ගර්ජනෙයි, සතුරන්ග වෙට්ටෙයි2, 1818 , හෝ ජුඩ් , 96 වැනි දකුණු ඉන්දීය සිනමා පට රැසක්ම තිරගත වීමට නියමිතය.
දකුණු ඉන්දියානු නිර්මාණවලට නව වසරේදී දායක වූ උතුරු ඉන්දීය තරු හා තාරකාවෝද සිටිති. ‘2.0’ සිනමා පටයට දායක වන අක්ෂේ කුමාර් ඉදු වේදලම් සොල්ලුම් කාදායි සිනමා පටයේ අවේ ඩියොල්, සංගමිත්රාට දායක වන දිශා පතනි, උලාහ රඟන රාධිකා ආප්තේ, ‘2.0’ හා ද විලේන් රඟන ඇමී ජැක්සන් ඊට හොඳම නිදසුන්ය. ඇමී දමිළ සිනමා පට ගණනාවකම රංගනයෙන් එක්වී තිබේ.
නව වසරේ සුපුරුදු වෘත්තියෙන් පරිබාහිරව නව ඉනිමක් අරඹන තරු අතර ධනුෂ්ද සිටියි. නළුවකු , ගායකයකු ලෙස දැනටමත් වෘත්තිය වශයෙන් ස්ථාපිත වී සිටින ඔහු අධ්‍යක්ෂකවරයකු වශයෙන් පිම්මක් පැන්නේ පසුඟිය වසරේය. ඒ පාණ්ඩි /පා පාණ්ඩි සිනමා පටයෙනි. ඔහුගේ දෙවැනි අධ්‍යක්ෂණය ‘මාරි 2’ එහි ඔහු ප්‍රධාන චරිතය රඟයි.
සාහෝ , 2.0 , සංගමිත්‍රා, වැනි අධික වියදමක් දරා නිපද වූ සිනමා පට , තෙළිඟු සුපිරි තරුව මහේෂ් බාබුගේ ‘භාරත් ආනේ, නේනු “ සහ සුකුමාර කුරුප්, මැමොති රඟන ‘අන්කල්’ වැනි මලයාලම් සිනමා පට, සුදීප්, ශිව රජ්කුමාර් රඟන ‘ද විලේන්’ කන්නඩ සිනමා පට සියගණනක ගැස්මක් 2018 රසික රස විචාරකයන්ගේ විවේචනයට වින්දනයට එක් වී ඇත.
චම්පිකා දීපානි රණසිංහ