ශ්‍රී ලංකාවේ නිපදවන ලද ප්‍රථම මොබයිල් සිනමාපටය වන “එක දවසක අපි” චිත්‍රපටයේ මංගල දැක්ම පෙබරවාරි පළමු වැනිදා සවස 6.30 ට කොළඹ කොටුව රීගල් සිනමාශාලාවේදී පැවැත්වීමට නියමිතය.
ඒ අනුව එම චිත්‍රපටය එදින සිට, දිවයින පුරා CEL මණ්ඩලයේ සිනමාශාලා 40 ක ප්‍රදර්ශනය කිරීම සඳහා කටයුතු යොදා තිබේ.
සම්මානනීය අධ්‍යක්ෂක අනුරුද්ධ ජයසිංහගේ තිර රචනයකට අනුව ඔහු විසින්ම අධ්‍යක්ෂණය කළ “එක දවසක අපි” සඳහා ප්‍රධාන රංගන දායකත්වය සපයනු ලබන්නේ පුබුදු චතුරංග සහ නයනතරා වික්‍රමාරච්චි ය.
ටෙලි නාට්‍යය ඔස්සේ ඉතාම කෙටි කලකින් ජනප්‍රියත්වයට පත් නයනතාරාගේ ප්‍රථම සිනමාපටය මෙය වේ.
එසේම වීනා ජයකොඩි, මේධා ජයරත්න, රොහාන් රණතුංග ඇතුළු නළු නිළියන් රැසක් මේ සඳහා රංගනදායකත්වය සපයා ඇත.
“එක දවසක අපි” නිෂ්පාදනය ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු විසිනි.
සසික හේරත් සහය අධ්‍යක්ෂණයෙන්ද, ප්‍රියන්ත එස්. වන්නිනායක අංග රචනයෙන්ද, යස් සුවහස් සහාය අංග රචනයෙන්ද, චින්තක සෝමවීර කැමරාකරණයෙන්ද, සංජීව කරුණාරත්න කලා අධ්‍යක්ෂණයෙන්ද, සිනේප්‍රෝ සමාගමේ උපකරණ සහ පිරිස් සහයෙන්ද “එක දවසක අපි” නිම වී තිබේ.
චිත්‍රපටය සම්බන්ධයෙන් අධ්යක්ෂවරයා සහ නිෂ්පාදකවරයා මෙසේ සිය අදහස් දැක්වුහ,
“ ‘එක දවසක අපි’ චිත්‍රපටය ඩෝන කැමරා ඇතුළු නවතම තාක්ෂණය යොදා ගනිමින් බයිබල් කඳු වැටියේ මුදුන වැනි දුෂ්කර ස්ථානවල රූගත කර තිබෙනවා. අද දින යෞවනේ පැන නැගී ඇති එක්තරා සමාජමය ප්‍රශ්ණාවලියක් කේන්ද්‍ර කර ගනිමින් මෙය නිපදවා තිබෙනවා.”- අනුරුද්ධ ජයසිංහ
“ගිය වසරේ අප්‍රේල් මස පටන් ගැනුණු මෙම නිෂ්පාදනය මාස දහයක් වැනි කෙටි කලක් තුළ ප්‍රේක්ෂකයන් වෙත ගෙන ඒමට ලැබීම ඉතාමත් සතුටුදායක කරුණක්. මෙම වාර්තාගත කඩ ඉම සපුරා ලීමට අපට හැකි වූයේ මෙම චිත්‍රපටයට සම්බන්ධ සියලුම දෙනා දැක් වූ උසස් සහයෝගය සහ අනුග්‍රාහකත්වය නිසාවෙනි.”- ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු