බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ ශ්‍රී ලංකාවෙන් රැගෙන ගොස් මේ වනවිට එරට කෞතුකාගාර වල මෙන්ම පරම්පරාගතව පෞද්ගලිකව සන්තකයේ තබා ගෙන ඇති ශ්‍රී ලංකාවේ පුරා වස්තු නැවත මෙරටට ලබා ගැනීම සඳහා වූ ලිඛිත ඉල්ලිමක් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලය වෙත ලබා දීමට “සුරකිමු ශ්‍රී ලංකා” සංවිධානය කටයුතු කර තිබේ.
අදාල පුරාවස්තු සම්බන්ධයෙන් වාර්තාවක් ද එම සංවිධානය මහා කොමසාරිස් කාර්යාලය වෙත බාර දී ඇත.
මේ පිළිබඳව අදහස් දැක්වූ එම සංවිධානයේ සභාපති පුජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමි කියා සිටින්නේ මේ ගැන රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ මැදිහත් වීමක් සිදු කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ද ඉල්ලා සිටීමට කටයුතු කරන බවයි.
“ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පවතී සමයේ මේ රටේ ස්වදේශිකත්වය හා ස්වෛරීභාවයට දැඩි බලපෑමක් එල්ල කළා. එහි ප්‍රතිපලයක් වශයෙන් අපේ රටේ තිබුණු සම්පත් සහ දේපොළ විශාල වශයෙන් ඒ අය මංකොල්ල කෑවා. ඒ වගේම රටේ ජනතාවගේ ශ්‍රම ශක්තිය විනාශ කළා. මහා විශාල පරිසර විනාශයක් සිදු කළා. ඒවා නිවැරදි කරන්න බැරි විනාශයන්. එහි අඳුරු තත්වයන් මේ වනවිට අපි භුක්ති විඳිමින් ඉන්නවා. දැනටමත් මේ රටේ සිදුවන නාය යෑම් වැනි ස්වභාවික විපත් වලට හේතු ඒ අවධියේ මාධ්‍ය කඳුකරයේ සිදු කරන ලද විනාශ ප්‍රතිපල ලෙස දකින්න පුළුවන්. ඒ අනුව, ආපසු හැරවීමට නොහැකි දැවැන්ත පසුබෑමකට අපි ලක්වෙලා. ලොව ප්රජාතන්ත්රවාදය තියෙනවා කියලා ජාත්‍යන්තරයට පෙන්නගෙන ඉන්න බ්‍රිතාන්‍ය අපෙන් මංකොල්ල කාපු සම්පත් අනන්තයි. මේ අතර මෙරට පුරාවස්තු බොහොමයි. කඩු, මැණික්, කොත් වහන්සේලා විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ සියල්ලම නැවත අපේ රටට ලබාදෙන්න කියලා අපි ඉල්ලනවා. පෞද්ගලික ස්ථානවල පරම්පරාගත විදියට තියෙන මේවා බිලියන, ට්‍රිලියන ගණන්වලට නොයෙකුත් රටවලදී ඔවුන් මේවා වෙන්දේසි කරනවා. ඊට අමතරව ජාතික කෞතුකාගාර සහ පෞද්ගලික කෞතුකාගාර වල මේවා විනාශ වෙමින් පවතිනව. ඒ නිසා බ්‍රිතාන්‍ය එඩ්වඩ් කුමරු ලංකාවට පැමිණ සිටි මේ වෙලාවේ අපි බ්‍රිතාන්‍යයෙන් ඉල්ලා සිටිනවා අපේ පුරාවස්තු වහාම අපිට දෙන්න කියලා. අපි අපේ රජයෙනුත් ඉල්ලනවා. රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් මැදිහත් වෙලා මේ සම්පත් නැවත අපේ රටට ගෙන්වා ගැනීමට කටයුතු කරන්න කියලා”
Sri Lanka Mirror