බොලිවුඩ් සිනමා කර්මාන්තය තුල සිදුවන ලිංගික හිංසන පිළිබඳව අදහස් පළ කිරීමෙන් වැලකි සිටි ඉන්දීය රංගන ශිල්පිනියන් මේ වනවිට ඒ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ කතා කිරීමට පෙළඹී තිබෙනවා.
රැකියා ස්ථානවල සිදුවන ලිංගික හිංසන පිටු දකිමින් හොලිවුඩ් සිනමාව ආශ්‍රිතව ආරම්භ කෙරුණු #METOO ව්‍යාපාරය මෙම ප්රවනතාවය සඳහා යම් තාක් දුරට හේතු වී ඇති බව පැවසිය හැකියි.
පසුගිය සති අන්තයේදී BBC පුවත් සේවය සමඟ පැවැත්වුණු වැඩසටහනක් අතරතුරදී ප්‍රසිද්ධ බොලිවුඩ් රංගන ශිල්පිනියන් දෙපළක් වන රාධිකා ආප්තේ සහ ඌෂා යාදෙව් පවසා තිබුණේ මෙසේ ලිංගික අතවරයට පත් වුවන් සමාජය ඉදිරියට පැමිණ තමන්ට වූ අසාධාරණය ගැන කතා කරන්නට බොහෝ සෙයින් බියක් දක්වන බවයි.
සිනමා තාරකාවන්ට ඉන්දීය සමාජය තුල හිමිව ඇති ගෞරවය නිසා මෙවැනි අකටයුතුකම් සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීමේ සංස්කෘතියක් ඇති වී තිබෙන බව ඔවුහු පවසති.
“සමහර පුද්ගලයන් සැලකෙන්නේ දෙවිවරු ලෙස. එවැනි බලසම්පන්න පුද්ගලයන් ඉදිරියේ මගේ හඬට කරන්න පුළුවන් දෙයක් නැහැ කියලයි මිනිස්සු හිතන්නේ. නැතිනම් ප්‍රසිද්ධියේ කතා කළොත් මගේ ඉදිරි ගමන විනාස වෙයි කියලා ඔවුන් හිතනවා,” යනුවෙන් BBC පුවත් සේවයට අදහස් දැක්වූ ආප්තේ පැවසුවාය.
ලිංගික හිංසනයට එරෙහිව හොලිවුඩය ගෙන යන ව්‍යාපාර පිළිබඳව ද ඇය මෙසේ පවසන්නීය.
“කාන්තාවන් මෙන්ම පුරුෂයන් එකතු වෙලා තීරණය කළොත් මින් මනතට මෙවැනි දේ බොලිවුඩයේ සිදු වන්නේ නැහැ කියලා, මෙහෙත් එය සාර්ථක වේ යැයි මම හිතනවා.”