බ්‍රිතාන්‍ය එළිසබෙත් රැජිනගේ බාල මුනුපුරා වන හැරී කුමරු සහ ඇමරිකානු රංගන ශිල්පිනි මේගන් මාකල් ගේ රාජකීය විවාහ මංගල උත්සවය ඊයේ (19) දින උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණි.
වින්ඩ්සර් මාලිගයේ ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ පැවති මංගල උත්සවය එරට වේලාවෙන් උදැසන 9 ට පමණ ආරම්භ විය.
ඒ සඳහා විශේෂ ආරාධිත අමුත්තන් 600 කට පමණ ඇරයුම් ලැබුණු අතර සුප්‍රකට පුද්ගලයන්, රංගන ශිල්පින් ශිල්පිනියන්, ගායක ගායිකාවන් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද දෙව් මැදුරට පැමිණි අමුත්තන් අතර විය.
ඒ අතරින් ප්‍රකට පාපන්දු ක්‍රීඩක ඩේවිඩ් බෙකම් සහ ඔහුගේ බිරිඳ වික්ටෝරියා බෙකම් මාධ්‍ය රැසකගේ අවධානය හිමි කරගෙන තිබුණි.
බ්‍රිතාන්‍ය වැසියන් අතරින් තෝරාගත් තවත් 1200 ක් පමණ පිරිසකට ද වින්ඩ්සර් මාලිගා පරිශ්‍රයේ රැස්ව සිටීමට ඉඩ හිමි වී තිබුණි.
ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ පැවති ආශීර්වාද මෙහෙයෙන් පසුව ඔවුන් දෙදෙනා නව යුවළක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබිය.
එසේම විවාහයෙන් අනතුරුව හැරී කුමරු වෙත සසෙක්ස් හි ආදිපාද පදවිය පිරිනැමීමට එළිසබෙත් රැජින කටයුතු කර තිබුණි. ඒ අනුව හැරී කුමරු අතගත් මේගන් මාකල් සසෙක්ස් හි ආදිපාදවරිය බවට පත්විය.
https://mirrorarts.lk/news/3211-royal-wedding-18-a#sigProIdad080cb2b0