ලේඛකයා ජීවතුන් අතර සිටියදී ම වැඩිම භාෂා ගණනකට පරිවර්තනය වූ කෘතිය පාවුලෝ කොයියෝ ගේ ‘The Alchemist ය.
එය පිටපත් මිලියන 35 ක් අලෙවි වෙමින් ද වාර්තාවක් තබා තිබේ. එවක් පටන් සෑම දෙවසරකට ම වරක් ඔහු කෘතියක් එළිදක්වන්නේය. ඔහු Alchemist ලීවේ දෙසතියක් තුළ බවට ද මත පළ වේ. පාවුලෝට ලේඛකයකු වීමට අවශ්‍ය කළේ කුඩා අවදියේදී ම ය. එහෙත්, ඔහුගේ මවුපියෝ එය වැළැක්වූහ. බ්‍රසීලයේදී ලේඛකයකුට අනාගතයක් නැති බව ඔවුන්ගේ අදහස විය. පාවුලෝ ගේ හිතුවක්කාරී නවයොවුන් විය දෙමවුපියන්ට විශාල පීඩනයක් ඇති කළේ ය. මේ තත්ත්වය කෙතරම් ප්‍රබල වීද යත් තුන් වතාවකදී ම ඔහු උන්මත්තකාගාර ගත කෙරිණි. නීති විද්‍යාලයට ඇතුළත් වීමට සුදුසුකම් ලැබුවද සිය ජීවන රටාව නිසා නීති අධ්‍යාපනය අතරමඟ නතර විය. රටේ පැවැති හමුදා පාලනයට එරෙහිව ගීත රචනා කළ පාවුලෝ ඒවා බ්‍රසීලියානු සංගීතඥයන්ට ලබා දුන්නේ ය. තුන්වතාවක් උන්මත්තකාගාරවල රඳවා සිටි පාවුලෝ දේශපාලන ක්‍රියාකාරකම් හේතුවෙන් තුන්වතාවක් බන්ධනාගාරගත කෙරිණි.
වර්ෂ 1986 දී ස්පාඤ්ඤය බලා ගිය ගමන ඔහුගේ ජීවිතය වෙනස් කිරීමට හේතු විය. ඒ වන විට ඔහු 18 හැවිරිදි වියේ පසු විය. කතෝලික පුදබිමක් වෙත ඔහු සැතපුම් 500ක දුරක් ගෙවා දමමින් වන්දනා චාරිකාවක යෙදිණි. ඔහුගේ ජීවිතය වෙනස් මඟක් ගැනීමට බලපෑවේ මේ වන්දනාගමන ය. The Pilgrimage ලියැවුණේ මේ ගමන පසුබිම් කර ගනිමිනි.
ලේඛනයට පිවිසීමට පෙර පාවුලෝ නාට්‍ය අධ්යක්ෂවරයකු, රංගන ශිල්පියකු, ගී පද රචකයකු සහ මාධ්‍යවේදියකු ලෙස ද කටයුතු කර තිබේ. එහෙත් ඒ එකකින්වත් ඔහුට ප්‍රමාණවත් ආදායමක් ඉපැයීමට නොහැකි විය. සෑම බ්‍රසීල ජාතියකු මෙන් ම පාවුලෝ ද ආදරය කරන්නේ පාපන්දු ක්‍රීඩාවට ය. එහෙත්, ඔහුගේ ප්‍රියතම ක්‍රීඩාව Toxophily ය. ඔහු සිව්වැනිවරට විවාහ වනවිට මුදුවක් පැළැඳුවේ නැත. ඒ වෙනුවට ඔහු කළේ සමනලයකුගේ පච්චයක් කොටා ගැනීම ය.
බ්‍රසීලයේ ආඥාදායක පාලනයක් පැවැතියදී පාවුලෝ වාමවාදියකු වීම හේතු කොටගෙන නොයෙක් පීඩාවටට ලක්විණි. වරක් ඔහු සහ ඔහුගේ එවක පෙම්වතිය ගීෂා කොමාන්ඩෝ භට පිරිසක් විසින් පැහැරගන්නා ලද අතර රඳවා තබාගෙන ප්‍රශ්න කෙරිණි.
පාවුලෝ මුලින් ම දෙමවුපියන් විසින් උන්මත්තකාගාරයකට යවනු ලැබුවේ ඔහු 16 හැවිරිදි වියේ සිටියදී ය. එහි රඳවා සිටි කාලසීමාව තුළ තුන්වතාවකදී ම ඔහු ඉන් පැනයාමට වෑයම් කර තිබිණි. එහෙත්, අන්තිමේ ඔහු ඉන් නිදහස් වූයේ 20 හැවිරිදි වියේ සිටියදී ය.
උන්මත්තකාගාරයේ ගත කරන අතර ලේඛකයකු වීමේ අදහස ඔහුගෙන් ගිලිහී යමින් තිබිණි. නීතිය හැදෑරීමට ඔහු යොමුවුණේ ඊට විකල්පයක් වශයෙනි. එය සාර්ථක නොවූ විට ඔහු තෝරාගත්තේ දේශ සංචාරයයි. දකුණු අමෙරිකාවේ, යුරෝපයේ සහ උතුරු අප්‍රිකාවේ සංචාරය කරමින් හිපියකු ලෙස ගෙවා දැමූ සමයක් ඔහුට විය. ලේඛකයකු ලෙස පාවුලෝගේ පළමු කෘතිය සාර්ථක නොවීය. එහෙත් ඔහු අසාර්ථක කෘතියක් ලෙස කල්පනා කළ දෙවැනි කෘතිය සාර්ථක වූයේ නොසිතූ නොවිරූ ලෙසිනි. ඔහු Vevonica Desides to Die කෘතිය ලීවේ උන්මත්තකාගාරයේ අත්දැකීම් ඇසුරිනි. පාවුලෝ ඉන්ද්‍රජාලිකයකු බව එතරම් ප්‍රකට නොවූ කාරණයකි. ඔහුට සිරගත වීමට බලපෑ එක් හේතුවක් ලෙස මැජික් හරඹ ද දැක්වේ. කෙසේ වුවද ඔහු එකී හරඹ දැක්වූයේ වදන්වලින් බව ඇතැම් අයගේ අදහසයි. ඔහු සැබැවින් ම ඉන්ද්‍රජාලිකයකු බව තවත් අදහසකි. එය එසේ ද එසේ නොවන්නේ ද යන්න නිශ්චිතව ම දන්නේ ඔහු පමණි. පාවුලෝගේ ජීවිතයේ ඔහු මෙතෙක් හරියාකාර හෙළිදරව් නොකළ තැන් ගණනාවක් ම තිබේ.
සෑම දෙවසරකට වරක් අලුත් කෘතියක් එළිදක්වන ඔහු අලුතින් පොතක් ලිවීමට සංඥාවක් එනතුරු අපේක්ෂාවෙන් පසු වේ. මේ සංඥාව සුදු පැහැ පිහාටුවකි. ඇතැම් විචාරකයන්ගේ අදහස ඔහු වසරක් හැර වසරක් ජනවාරියේදී අලුතෙන් ලිවීම අරඹන බවය. සුදුපැහැ පිහාටුවෙන් සංකේතවත් වන්නේ එය විය හැකිය. ඕම් ශාන්ති ඕම් යන වදන් ඉන්දියාව පුරා උන්මාදයක් ඇති කළ බව රහසක් නොවේ. එහෙත් මේ වදන්වල මුල් අදහසේ නිර්මාපකයා පාවුලෝ කොයියෝ බව අප්‍රකටය.
2012 වසරේදී ඔහු සිය ජීවිතයේ අප්‍රකට තැන් සමහරක් සම්මුඛ සාකච්ඡාවකදී හෙළිදරව් කළේය. ළමා වියේදී කැමරා ශිල්පියකු වීමේ ආසාවද තමන් තුළ වූ බව ඔහු පවසා තිබේ. තමා දක්ෂ දුනුවායකු බවද ඔහු එහිදී කියා සිටියේය. ගායනා කරන නමුත් තමා දක්ෂ ගායකයකු නොවන බව පාවුලෝගේ අදහසය. කෙසේ වුවද ගී ගයන විට ඔහු අත ගිටාරයක් තිබිය යුතුය.
හිපි ජැකට්ටුවක් ඇඟලාගෙන සිටිනු දැකිය හැකි වුවද පාවුලෝගේ ප්‍රියතම ඇඳුම කිමෝනාව ය. ඔහු ඒ ඇඳුම ඇඳ සිටිනු නම් දක්නට නැත. තමා වෙනස් කළ කෘතිය ලෙස පාවුලෝ නම් කරන්නේ හෙන්රි ටිලර්ගේ Tropic of Cancer ය. එය කියවන විට තමාට ඇති වන හැඟීම නම් එහි සෑම පිටුවක් ම ලිවීමට රුධිරය අවශ්‍ය වන්නට ඇති බව යැයි ඔහු පවසයි.
කිසිවක් ගැන විශාල පසුතැවීමක් තමන්ට නැති බවද පාවුලෝ කියා තිබේ. තමාට කිරීමට අවශ්‍ය සියලු දේ කරන්නට හැකිවී ඇති බැවිනි. ඔහු කිසිවකු ගැන හෝ පිළිබඳ සිතක් පහළ කරගත්තේ නම් ඒ සිනමා නිළි ඕඩ්රි හෙප්බර්ස් ගැන ය. මූලධර්මවාදීන් ගැන ඔහු තුළ ඇත්තේ දැඩි අප්රසාදයකි. පාවුලෝ කියන පරිදි ඔහුට ඉක්මනින් ම හැඬුම් ඒ. චිත්‍රපටයක් නරඹන අතරතුර, දුරකතන සංවාදයකදී, හිරුඑළිය දකිනවිට වැනි මේ ඕනෑම මොහොතක තමාගේ දෑසට කඳුළු නැඟෙන බව ඔහු කියා තිබේ. ඇතැම්විට වදන් බවට පෙරළනේනේ ඒ කඳුළු කැට ය. වරක් සම්මුඛ සාකච්ඡාවකදී ඔහුගෙන් අසා තිබුණේ තම පස් අවුරුදු සැලැස්ම කුමක් ද? යන්නයි. ඔහු ඊට පිළිතුරු දුන්නේ හුස්ම ගැනීම බව පවසමිනි. ජීවිතය වචන 6 කින් දක්වන්නැයි ඉල්ලා සිටි විට පාවුලෝ ගේ පිළිතුර වූයේ, ආශීර්වාද ලත් බව, වන්දනාකරු, දුනුවායා, ලේඛකයා සහ අන්තර්ජාල ජංකියා යන්නයි.
ධම්මික සෙනවිරත්න