"බුදුන්ගේ රස්තියාදුව" නිසා සිදුවු පොලිස් රස්තියාදුව
කේ.කේ. ශ්‍රීනාත් චතුරංග රචිත “බුදුන්ගේ රස්තියාදුව” නවකතාව ඊයේ (අගෝස්තු 3) රෝයල් තැප්‍රෝබේන් හි එළිදැක්වුනි.
බුදුන්ගේ රස්තියාදුව" එළිදැක්වීමට ප්‍රථම බුද්ධ චරිතයට නිගා දෙන කෘතියක් එළි දැක්වීමට සූදානම් වනබවට ලද පැමිණිල්ලක් හේතුවෙන් එහි කර්තෘවරයා සහ මුද්‍රිත සියලුම කෘති මිරිහාන පොලිසිය වෙත රුගෙන ගොස් තිබු අතර පසුව පැයකට ආසන්න කාලයකදී නැවත මුද්‍රිත පොත් හා කෘතියේ කතුවරයා මුද්රහැරීමට පොලිසිය විසින් කටයුතු කර තිබුණි.
මේ එම සිද්ධි දාමය පිළිබඳ උපුල් ශාන්ත සන්නස්ගල විසින් සිය ෆෙස්බුක් ගිණුමේ තැබු සටහනයි.
2018 අගෝස්තු මස 03 වන දින දහවල් 11. 25 ට පමණ කසුන් චන්ද්‍රනාත් පතිරණ දුරකතනයෙන් කතා කළා."පොලිසියෙන් කියල කෙනෙක් මට කතා කළා, බුදුන්ගේ රස්තියාදුව පොතට විරුද්ධව හාමුදුරු කෙනෙක්ගෙන් පැමිණිල්ලක් ලැබිලා තියෙනව. ඒකට මොකද්ද කරන්න ඕනි කියල අහනව."
කසුන්ගේ දුරකතන සංවාදය නිමා වීමත් එක්කම ශ්‍රී ද දෙතුන් වරක් මට කතා කළා. මේ ආරංචියට කලණ ගුණසේකර, විහඟ විජේසේකර, කෞශල්‍ය මාධව, ශ්‍රීනාත් චතුරංග, වරංග ද සිල්වා ඇතුළු බොහෝ දෙනෙක් ඒ අවස්ථාවේම රෝයල් තැප්‍රොබේනියන් වෙත ආවා.
සවස 1.35 ට පමණ මිරිහාන පොලිසියේ CI ප්‍රියන්ත ඇතුළු නිලධාරීන් තුන් දෙනෙක් රෝයල් තැප්‍රොබේනියන් වෙත පැමිණියා. බත්තරමුල්ල තලාහේන බෞද්ධ තොරතුරු කේන්ද්‍රය නැමති ස්ථානයක ලිපි ශීර්ෂයකින් බුද්ධ ශාසන අමාත්‍යවරයාට "බුදුන්ගේ රස්තියාදුව" නමින් බුද්ධ චරිතයට නිගා දෙන කෘතියක් එළි දැක්වීමට සූදානම් වන බවත්, එය තහනම් කරන ලෙසත් ඉල්ලා ඇති ලිපියක ෆැක්ස් පිටපතක් ඉදිරිපත් කරමින් කෘතියේ කර්තෘ කවුදැයි විමසා සිටියා. කර්තෘව මේ අවස්ථාවේ අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කළ යුතු බවත් මුද්‍රිත සියලුම කෘති පොලිස් භාරයට ගන්නා බවත් දන්වා සිටියා.අප සියලු දෙනා ඉතා ශිෂ්ට සම්පන්න ලෙස ඔවුන්ට කරුණු පැහැදිලි කර සිටියා.
CI ප්‍රියන්ත කෘතියේ අන්තර්ගතය කුමක්දැයි විමසා සිටිය විට එය කෘතිය කියවා තේරුම් ගත යුතු බව ශ්‍රී කියා සිටියා.
"ඕවා කියවන්න වෙලාව නෑ" යනුවෙන් උස් හඬින් පැවසූ CI ප්‍රියන්ත කෘතියේ නමට කීප වතාවක් ඇඟිල්ලෙන් අනිමින් "මේ තියෙන්නෙ අපහාස කරල... මේ තියෙන්නෙ අපහාස කරල...." යනුවෙන් සාහිත්‍ය කෘතිය ගැන ඔහුගේ අදහස පවසා සිටියා.
ශ්‍රී වත් මාවත් අත්අඩංගුවට ගැනීමට යම්කිසි නීතිමය ලියවිල්ලක් ඇත්දැයි මා විමසා සිටි විට ඔහු අතේ වූ ෆැක්ස් පත පෙන්වමින් මේක ප්‍රමාණවත් බවත් අපරාධයකට සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට ලේඛන අවශ්‍ය නොවන බවත් පවසා සිටියා. අවසානයේ පොලිස් තර්ජනයටත් ඔවුන්ගේ ආක්‍රමණශීලී භාවයටත් යටත් වීමට අප හට සිදු වුණා.
විජයාරාමයේ සිට මිරිහාන පොලිසිය වෙත අප රැගෙන යන කෙටි කාලය තුළ අප මේ සිදුවීම පිළිබඳව හැකි උපරිමයෙන් මිතුරන් දැනුවත් කළා. මිරිහාන පොලිසිය අභ්‍යන්තරයේ පැයක පමණ කාලයක් මිනිස් අයිතිවාසිකම් පිළිබඳ අරගලයේ අවසන් ප්‍රතිඵලය ලෙස ඔවුන් මාවත් ශ්‍රී වත් නිදහස් කළා. යළිත් අප විජයාරාමයට පැමිණෙන විට ඔවුන් විසින් රැගෙන ගිය පොත් සියල්ල නැවත රෝයල් තැප්‍රොබේනියන් ගෙනැවිත් බාර දී තිබුණා.
"බුදුන්ගේ රස්තියාදුව" අපි ලෝන්ච් කළා.