නිර්මාණ කොල්ලයක් සිදු කළ බවට තමන්ට චෝදනා නැඟූ චිත්‍රපට තිර රචක නඩරාජා මනිවානන් කළ වරද ප්‍රසිද්ධියේ පිළිගන්නවා නම් සමාව දෙන්න සුදානම් බව ප්‍රවීන සිනමා අධ්යක්ෂ සෝමරත්න දිසානායක පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ “සුනාමි” සිනමාපටය මුලික කරගනිමින් පසුගිය 6 වැනිදා ජාතික චිත්‍රපට සංස්ථා දේශනා ශාලාවේදී සංවිධානය කළ මාධ්‍ය සාකච්ඡාවකදී ය.
“වරද පිළිගන්න අපි අවස්ථාවක් දෙනවා. ප්‍රසිද්ධියේ සමාව ඉල්ලනවා නම් සමාව දෙන්නත් අපි සුදානම්. නමුත් වරද පිළිනොගෙන දිගින් දිගටම මඩ ගැසීම් කළොත් අධිකරණය ඉදිරියේ තමන් පැවසු දේ ඔප්පු කරන්න සුදානමින් ඉන්න.” යනුවෙන් ආචාර්ය සෝමරත්න දිසානායක එහිදී පැවසුවේ ය.
අනුදැනුමකින් තොරව තමන්ගේ තිර පිටපතක් යොදා ගනිමින් “සුනාමි” නම් සිනමා නිර්මාණයක් කිරීමට සුදානම් බව පවසමින් සිනමා රචක නඩරාජා මනිවානන් විසින් චිත්‍රපට අධ්යක්ෂ සෝමරත්න දිසානායක සහ නිෂ්පාදිකා රේණුකා බාලසුරිය වෙත නඩු පැවරීමේ නිවේදනයක් යොමු කර තිබුනේ පසුගිය ජූලි මසදී ය.
“නිර්මාණකරුවෙක් තවත් කෙනකුගේ නිර්මාණයක් සොරකම් කරනවා නම් ඇත්තටම ඒක වැරද්දක්. එවැනි සොරකම් වලට එරෙහිව කටයුතු කරන්න අපිත් ඉදිරිපත් වෙනවා. මටත් මෙවැනිම අත්දැකීම් තියෙනවා. මගේ නිර්මාණ සංකල්ප සමහරු සොරකම් කරලා තියෙනවා. මම ඒක නිශ්ශබ්දව විඳ දරාගත්තා. මොකද එය කලින් ප්‍රචාරය කරපු එක මගේ වැරැද්ද නිසා.”
එසේම මේ පුවත ගැන සත්‍ය අසත්‍යතාවය නොසොයා ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ චෝදනාත්මක මත පළ කරන පුද්ගලයින් එවැනි මඩ ගැසීම් මින් මතුවටත් සිදු කළහොත් ඔවුන්ට වෙන වෙනම නඩු පවරන බව ද ඔහු කියා සිටියි.
තවද දමිළ නිර්මාණකරුවන්ගේ හිඟයක් මෙරට තුළ පවතින අවස්ථාවක ඔවුන් අගය කළ යුතු බව ද ඔහු පවසයි.
“සුනාමිය ගැන අවුරුදු 2, 3 ක පටන් අපි කර තිබෙන ගවේෂණ කටයුතු ඔහු චිත්‍රපට හදන දවසක ලබා දෙන්න අපි කැමතියි. නමුත් බොරු කියලා අනිත් අයට අපහාස කරලා තමන් වීරයෙක් වෙන්න හදනවා නම් වැරදියි. එය අත්හැරලා නිර්මාණ කරුවෙක් ලෙස එන්න අපි ඔබට උදව් කරන්න සුදානම්.”
ලක්ෂ දහසකට වඩා වැඩි වියදමකින් නිර්මාණය කෙරෙන මෙම සිනමාපටයේ නිෂ්පාදන කටයුතු සඳහා දෙස් විදෙස් අනුග්‍රහය හිමිවන බව සුනාමි සිනමාපටයේ නිෂ්පාදිකා රේණුකා බාලසුරිය පැවසුවා ය.
“නවීන තාක්ෂණය ඔස්සේ සුනාමිය ප්‍රති නිර්මාණය කිරීමේ එක් රූප රාමුවකට පමණක් සාමාන්‍ය චිත්‍රපට තුනකට යන මුදල වැය වනවා. මේ වැඩකටයුතු අපි ආරම්භ කළේ 2016 දී. එය ඔප්පු කළ හැකි සාක්ෂි අප සතුයි. නීතිය හමුවට ගියොත් අපිට එය ඔප්පු කිරීමට අවශ්‍ය සාක්ෂි ඕනවට වඩා තියෙනවා.”