අග්‍රගණ්‍ය කලාකරු ලියනාඩෝ ඩාවින්සිගේ කලා නිර්මාණයක් යැයි විශ්වාස කෙරෙන ලොව වැඩිම වටිනාකමකින් යුත් “සැල්වේටර් මුන්ඩි” සිතුවම නිරාවරණය කිරීම දින නියමයකින් තොරව කල් දැමීමට අබුඩාබි නුවර පිහිටි ලූවර් කෞතුකාගාරය තීරණය කර තිබේ.
ඊට හේතුව කුමක්දැයි කෞතුකාගාරය නිවේදනය කර නැත.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ආලේඛ්‍ය සිතුවමක් වන “සැල්වේටර් මුන්ඩි” පසුගිය නොවැම්බරයේ නිව්යෝක් නුවරදී වෙන්දේසි කරන ලද්දේ ඇමරිකානු ඩොලර් මිලියන 450 ක් වැනි වාර්තාගත මිලකට ය.
එය මිලදී ගත්තේ සෞදි කුමාරයකු යැයි පසුව අනාවරණය විය.
අබුඩාබි හි පිහිටි ලූවර් කෞතුකාගාරය පසුගිය වසරේදී විවෘත කළ අතර මෙම සිතුවම එළඹෙන සැප්තැම්බර් 18 වැනිදා සිට ප්‍රදර්ශනය කිරීමට නියමිතව තිබුණි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සම්බන්ධතාවයක් ඇති “ද නැෂනල්” පුවත්පත වාර්තා කරන්නේ “සැල්වේටර් මුන්ඩි” චිත්‍රය නිරාවරණය කරන දිනයක් පිළිබඳ තොරතුරු එරට සංස්කෘතික හා සංචාරක දෙපාර්තමේන්තුව විසින් මෙතෙක් දැනුම් දී නොමැති බවයි.
නොවැම්බර් 11 වැනිදාට යෙදෙන පළමු සංවත්සරයෙදී බොහෝදුරට සිතුවම නිරාවරණය සිදු කරනු ඇති බවට පුවත්පත වැඩිදුරටත් වාර්තා කර තිබේ.