අද්වතීය බොලිවුඩ් නළුවෙක් මෙන්ම අධ්‍යක්ෂකවරයෙක්ද වන අමීර් ඛාන් රංඟනයෙන් සහ නිෂ්පාදනයෙන් දායකවන Dangal චිත්‍රපටය 2016 වර්ෂයේ හින්දි චිත්‍රපට අතරින් වේගවත් ගමනක් ආරම්භකල චිත්‍රපටය බවට පත්වී ඇත. දෙසැම්බර් 23 දින ප්‍රදර්ශනය ආරම්භකල දාංගල් එදින ඇමරිකානු ඩොලර් මිලියන 4.4 ක වාර්තාගත ආදායමක් ඉපයීමට සමත්විය. එය ඉන්දියානු චිත්‍රපට ඉතිහාසය මෙන්ම අමීර්ගේ රංගන දිවියේද සුවිශේෂ කඩඉමක් බවට පත්වීම පුදුමයක් නොවේ.
දාංගල් යනු හින්දි භාෂාවෙන් මල්ලවපොර ක්‍රීඩාව හැඳින්වීමට භාවිතා කරන නාමයයි. මහාවීර් සිං පොගට් නම්වූ මල්ලවපොර ක්‍රීඩකයා ආර්ථික අපහසුකම් නිසා ජාත්‍යන්තරයට යාගත නොහැකිව ක්‍රීඩාව අතහැර දමන අතර තමන්ගේ දරුවෙක් ජාත්‍යන්තර මල්ලවපොර තරඟයකදී ඉන්දියාව නියෝජනය කරමින් පදක්කමක් ජයගැනීම ඔහුගේ එකම අරමුණවේ. මල්ලව පොර ක්‍රීඩාව පිරිමින්ට පමණක් ලෙස ඉන්දියාවේ සම්ප්‍රදායට යටවී තිබෙන වටපිටාවක තමන්ට ලැබෙන දරුවන් හතර දෙනාම ගැහැණු දරුවන් වීමෙන් මහාවීර් පත්වන්නේ දැඩි කළකිරීමකටය. එහෙත් තම වැඩිමහල් දියණියන් දෙදෙනා ගමේ කොළු කුරුට්ටන්ට අතපය කැඩෙන්නට ගහන තරුණියන් බවට පත්වෙද්දී මහාවීර් පුතෙක් හරහා සැබෑ කරගත නොහැකිවූ හීනයට දියණියන් යොමුකිරීමට වෙහෙසේ.
කටුක ගමනක සහ සමාජ විරෝධතා මෙන්ම පවුල අභ්‍යන්තර ගැටුම් මැද ගීතා පොගට් සහ බබීතා කුමාරි පොදු රාජ්‍ය මණ්ඩල තරගාවලියේ මල්ලව පොර ඉසව්වේ කිලෝ 55 සහ 51 කාණ්ඩයේ රන් පදක්කම සහ රිදී පදක්කම ලබාගන්නට සමත්වන්නේ ඒ දාංගලය එසේ මෙසේ දාංගලයක් නොවන බව පසක් කරමින්ය. මල්ලවපොර පිටිය පිරිමින්ට පමණක් නොව කාන්තාවන්ටද විවෘත පිටියක් බවට පත්කරමින් මහාවීර් සිංගේ දියණියන් ලබාගන්නා ජය සහ ඒ පිටුපස කතාව දාංගල චිත්‍රපටය පුරා ඉතා සංවේදී මෙන්ම ආත්මකථනයක් ආකාරයෙන් ඉදිරිපත් වේ.
2010 පොදුරාජ්‍ය මණ්ඩලීය තරඟාවලියේ ඉන්දියාව වෙනුවෙන් මුල්ම කාන්තා රන්පදක්කම සහ රිදී පදක්කම මෙන්ම 2011 සහ 2013 වර්ෂවලද එම ජය තහවුරු කර සුපිරි ගනයේ ඉන්දියානු මල්ලව පොර ක්‍රීඩිකාවන් දෙදෙනාගේ සත්‍ය ජීවන කතාපුවත රැගත් දාංගල් චිත්රපයට මේ වනවිට ඉන්දියාව,ඇමරිකාව,ලංකාව ඇතුළු රටවල් ගණනාවක සිනමා ශාලා 4300ක රජගමනක තිරගතවේ. ත්‍රී ඉඩියට්ස්, පී.කේ වැනි රැඩිකල් ගනයේ චිත්‍රපටවල සාර්ථකත්වයට පැමිණි අමීර්ගේ විශිෂ්ට රංගනයෙන් ඔප්නැංවෙන දාංගල් යනු සැබෑ ලෙසම ඉන්දියාවේ ජවය ලොවටම ගෙනයන නිර්මාණයකි.