ළඟදීම ලොව පුරා තිරගත වීමට නියමිත ෆැන්ටෑස්ටික් බීස්ට් නවතම සිනමාපටයේ වොල්ඩමෝට්ගේ සර්පයා වන “නාගිනි”ගේ චරිතය කොරියානු රංගන ශිල්පිනියක් රඟ දැක්වීම පිළිබඳ එල්ල වන චෝදනාවලට පිළිතුරු බැඳීමට ජේ. කේ. රෝලින්ග් ඉදිරිපත් වී තිබේ.
මෑතකදී නිකුත් කරන ලද ද ක්රයිම් ඔෆ් ග්රීන්ඩල්වෝල්ඩ් චිත්රපට පුර්ව ප්රචාරක පටය අනුව නාගිනි චරිතයට ක්ලෝඩියා කිම් පණ පොවන අතර ඇය සර්පයෙක් බවට පරිවර්තනය වේ.
මෙම සිනමාපටයේ එකම ආසියාතික රංගන ශිල්පිනිය නාගයෙක්ගේ චරිතයට යොදා ගෙන ඇති බවත් එසේම ඇය දුෂ්ටයාගේ වහලෙක් බවට පත් කර තිබීම ගැනත් සමහර පුද්ගලයන් විවේචන එල්ල කර තිබුණි.
කෙසේ වෙතත් සුප්රකට හැරී පොටර් රචිකාව රෝලින්ග් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසන්නේ නාගිනි චරිතය “නාග” එනම්, “ඉන්දුනීසියානු දේව කතාවල එන මනඃකල්පිත සර්පයෙක්” පාදක කරගනිමින් නිර්මාණය කරන ලද්දක් බවයි.
“ඔවුන් සමහර වෙලාවට පියාපත් ඇත්තවුන් ලෙසත්, අර්ධ මිනිස්- අර්ධ සර්ප ලෙසත් පෙන්වා දී තිබෙනවා. ඉන්දුනීසියාව ජනවාර්ගික කණ්ඩායම් කිහිපයකින්ම සැදුම් ලද තැනක්. එහි ජාවා වැසියන්, චීන වැසියන් මෙන්ම බෙටාවී වැසියන් ද සිටිනවා,” යනුවෙන් වැඩිදුරටත් ඇය පවසන්නී ය.
ජේ. කේ. රෝලින්ග්ගේ තිරරචනයකට අනුව ඩේවිඩ් යෙට්ස් අධ්යක්ෂණය කරන ලද ෆැන්ටෑස්ටික් බීස්ට්: ද ක්රයිම් ඔෆ් ග්රීන්ඩල්වෝල්ඩ් නොවැම්බර් 16 වැනිදා සිට ලොව පුරා ප්රදර්ශනය කිරීමට නියමිත ය.