චන්ද්‍රිකා සිරිවර්ධනගේ ප්‍රථම ඒක පුද්ගල ගී ප්‍රසංගය “රන් තාරකාවෝ”
ප්‍රවීන ගායන ශිල්පිනි චන්ද්‍රිකා සිරිවර්ධනගේ ප්‍රථම ඒක පුද්ගල සංගීත සන්ධ්‍යාව “රන් තාරකාවෝ” කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත්වීමට නියමිත ය.
නොවැම්බර් 11 වැනිදා සවස 6.30 ට ආරම්භ වන මෙම ප්‍රසංගය ඇයගේ කලා දිවියට වසර 55ක් පිරිම නිමිත්තෙන් සංවිධානය කෙරේ.
ගී සැඳෑවට සමගාමිව චන්ද්‍රිකා සිරිවර්ධනගේ ගීත ඇතුලත් සී.ඩී. තැටියක් ද එදින එළිදක්වනු ලැබේ.
අමරසිරි පීරිස්, චරිතා ප්‍රියදර්ශනී, ප්‍රදීපා ධර්මදාස, රිද්ම වීරවර්ධන, නදිමාල් පෙරේරා, චන්දීප ජයකොටි, රවින් කනිෂ්ක ඇතුළු ගායන ශිල්පින් ශිල්පිනියක් මේ සඳහා සහභාගී වනු ඇත.
දිනේෂ් සුබසිංහ ප්රමුඛ Tone Poems වාදක මණ්ඩලය එදින සංගීතයෙන් දායක වීමට නියමිත ය.
ප්‍රසංගය සම්බන්ධයෙන් චන්ද්‍රිකා සිරිවර්ධන සතිඅන්ත පුවත්පතකට මෙසේ සිය අදහස් ප්‍රකාශ කර තිබුණි.
“මේක කාලයක ඉඳන් මගේ හිතේ තිබුණු හීනයක්. ඇත්තටම මටත් වඩා ඒකට ආශාවෙන් හිටියෙ මගෙ ආදරණීය ස්වාමිපුරුෂයා ඇන්ටන් අල්විස්. නමුත් විවිධ හේතු නිසා දවසින් දවස ඒක කල්ගියා. එයා පහුගිය කාලෙ මගෙන් සඳහටම වෙන්වෙලා ගියත් කොහේ හරි ඉඳන් මේක බලාගෙන ඉන්න බව මට විශ්වාසයි. එයා මගෙ ජීවිතයේ හෙවනැල්ල වගෙයි. කලා ලෝකයේ මේ තරම් දුරකට මාව ඔසවලා තබන්න එයා දුන්න සහයෝගය ගැන නම් මට වචනවලින් විස්තර කරන්න බැහැ.”