කන්දක් සේමා නිළ පූර්ව ප්රචාරක පටය නිකුත් කෙරේ
සුමිත්‍රා රාහුබද්ධයන්ගේ සම්මානිත නවකතාවක් ඇසුරින් අශෝක අතාවුදහෙට්ටි නිර්මාණය කළ “කන්දක් සේමා” සිනමාපටයේ නිළ පූර්ව ප්රචාරක පටය පසුගියදා අන්තර්ජාලය වෙත මුදා හරින ලදී.
ජපානයේ නීගතා නුවර වියපත් පුරුෂයකු වන මසායා හා විවාහ වන ශ්‍රී ලාංකේය තරුණියක වන නුපාගේ ජීවිත කතාවෙහි හරස්කඩකි කන්දක් සේමා. රැවටිලිකාර පෙම්වතෙකු නිසා කලකිරෙන නුපා රටින් පිටව යන්නේ විවාහ ඒජන්සි කරුවෙකු හරහාය. කලකිරීම අමතක කොට නව ජීවිතයක් ගොඩ නාග ගන්නට සිතුවද ඇය පැතූ ලොව දුරස් බව ඇයට වැටහේ. එහෙත් නව ජීවිතයට හා පරිසරයට අනුගත වෙන්නට ඇය බොහෝ වෙහෙස වේ. සිය සැමියා තමා සොයන උණුසුම් ආදරය ගැන වගක් නොදන්නා බව ඇයට වැටහෙයි. තමා සොයා පැමිණි ආදරයද, සකුරා මල් වියනද , සැපවත් ජීවිතයද වෙනුවට ඇය දකින්නේ හිස් බවකි. ජපන් බස නොදැනීම නිසා අපහසුවට පත්වන ඇය වෙර දරාබස ඉගෙන ගනියි.නීගටවේ ඇවිද යමින් පරිසරයට අනුගත වෙයි. තම සැමියාගේ ආර්ථික දුෂ්කරතා දකින ඇය සොරා සාන් නම මිතුරු චිත්‍ර ශිල්පිනිය හරහා රැකියාවක් සොයා ගනියි
එහෙත් තමා පැතූ පෙම්බර ලෝකය අහිමිව ඇති බව ඇයට වැටහෙයි. එබැවින් ඇය තම සිතෙහි මවා ගන්නා පෙම්බරෙකු හා ආදරයෙන් වෙලෙයි.
ඇයගේත් මසායාගේත් ලෝකය මෙන්ම ඇයගේ ශ්‍රී ලාංකේය මාපියන් හා සොයුරු සොයුරියන්ගේත් ජීවන අරගලය මතු නොව ජපානයේ ෂිනානෝ ගංගාවෙහි අතීත කතා පුවතද , ඇයගේ දියණිය කසුමිගේ කතාවද විනිවිද දකින කන්දක් සේමා හි තිර රචනය සහ දෙබස් සුමිත්‍රා රාහුබද්ධ විසිනි.
මෙහි නූපා ලෙස නිරෝෂා පෙරේරා, මසායා ලෙස ජපන් ජාතික ජූන් ඉතේ, පෙම්බරා ලෙස දිනෙත් ද සිල්වා, සුමල් ලෙස බිමල් ජයකොඩි, සොරා සාන් ලෙස ලොයාජි අයාකේ සමඟින් සිරිල් වික්‍රමගේ, වසන්තා කොටුවැල්ල, වීනා ජයකොඩි, චාන්දනී සෙනෙවිරත්න, කෞශල්‍යා ප්‍රනාන්දු, ප්‍රියංකර රත්නායක, විශ්වජිත් ගුණසේකර, ජයනි සේනානායක, දසුන් පතිරණ, ලක්ෂ්මන් මෙන්ඩිස්, පුබුදු චතුරංග සහ ජපන් ජාතික නළු නිළියන් රැසකගේ රංගන දායකත්වය මෙම චිත්‍රපටයට හිමි වී ඇත.
කැමරා අධ්‍යක්ෂණයෙන් රුවන් කොස්තා, සංස්කරණයෙන් අජිත් රාමනායක, අංග රචනයෙන් නාරද තොටගමුව සමඟ ෂිභාතා හිරෝමි, කලා අධ්‍යක්ෂණයෙන් කුමාර කරව්දෙනිය, නර්ථන නිර්මාණයෙන් සංඛ අබේසිංහ, සහය අධ්‍යක්ෂණයෙන් නිමල් විජේසිරි සේනාධීර සහ මොරිටෝ ඔහාරා ද, ශබ්ද පරිපාලනයෙන් ප්‍රියන්ත කළුආරච්චි ද, ගායනයෙන් සදනි විජේතුංග, ගේයපද රචනයෙන් මහාචාර්ය සුනිල් ආරියරත්න, සංගීත අධ්‍යක්ෂණයෙන් සුරේෂ් මාලියද්ද එක් වූ මෙම කන්දක් සේමා චිත්‍රපටයේ නිෂ්පාදන දායකත්වය සමන්මලී පද්මකුමාර, ජයන්ත හෙට්ටිආරච්චි, සුමිත්‍රා රාහුබද්ධ හා මහාචාර්ය ආශු මාරසිංහ ගෙනි.
මෙම සිනමා නිර්මාණය ළඟදීම තිරගත කිරීමට නියමිත ය.