“මගේ ගමේ ඉන්න මිනිස්සු අධ්‍යාපන කටයුතු දිගටම සිදු කරන්නේ නැහැ. ඔවුන්ට කොහෙන්ද වෙලාවක්? කුසගින්න නිවාගන්න ඔවුන් මුළු දවසම වෙහෙසෙනවා. කෙසේ හෝ ඔවුන් පොත් කියවන්න යොමු කරවන්න අවශ්‍යයි කියලා මම හිතුවේ ඒ නිසයි.”
බංගලිදේසයේ ඇවිදින පුස්තකාලය ලෙස හැඳින්වූ පොලාන් සර්කාර් දිනක් මෙසේ පවසා තිබුණි. සිය පාසල් ගමන සම්පුර්ණ කිරීමට පවා නොහැකි වුණු මේ මිනිසා බංගලිදේසයේ වෙසෙන අන්ත දුගී පුද්ගලයන්ට පොත් කියවීම හුරු කරවන්න ඔහුගේ දිවියෙන් වසර 30ක කාලයක් කැප කළේ ය.
ආරම්භයේ දී, සිය රැකියාව සඳහා ගමින් ගමට යාමට සිදු වූ බැවින් එම අවස්ථාව ප්‍රයෝජනයට ගත් ඔහු කියවීම සඳහා සිසුන්ට නොමිලේ පොත් ලබා දීම සිදු කළේ ය. ඉන්පසු කාලයේ පොලාන් සර්කාර් තම ගමෙහි පාසලක් ඉදිකළේ ය. පාසලේ ඉහළම ලකුණු ලබාගන්නා සිසුන් දසදෙනා වෙත සෑම වසරකම පොත් පිරිනැමූ අතර එරට ග්‍රාමීය පරිසරයක එවැනි ක්‍රියාවක් සිදු කළ පළමු අවස්ථාව එය විය.
1990 දී පමණ පොලාන් සර්කාර් දියවැඩියා රෝගයෙන් පෙළෙන්නට වූ බැවින් දිනපතා ඇවිදින ලෙස වෛද්‍යවරයා නියම කළ නිසා එම අවස්ථාවෙන් ද ප්‍රයෝජනයක් ගැනීමට ඔහු සිතුවේ ය. ඒ අනුව පොත් තොගයක් රැගෙන දොරින් දොරට යන ඔහු කියවීම පිණිස ඒවා ගම්වැසියන්ට ලබා දෙන්නට කටයුතු කර තිබුණි. තමන්ට අවශ්‍ය පොත තෝරා ගැනීමට ගම්වැසියන්ට ඉඩ ලබාදෙන පොලාන් ඔවුන්ට ඒවා කියවීම සඳහා දින කිහිපයක කාලයක් ලබාදුන්නේ ය. කෙසේ හෝ ගම් 10ක 5000ක් පමණ පාඨක පිරිසක් ගොඩනැගීමට ඔහුට හැකි වී තිබුණි.
සමාජ ක්‍රියා උදෙසා බංග්ලාදේශ රජයෙන් පිරිනමන ඉහළම සම්මානය වන Ekushe Padak සම්මානයෙන් 2011 දී පිදුම් ලැබූ පොලාන් සර්කාර් පසුගිය මාර්තු 1 වැනිදා සිය දිවියෙන් සමු ගන්නා විට ඔහුගේ වයස අවුරුදු 98 කි.