“කවදාවත් හිතුවේ නැහැ මගේ රුවක් මෙහි ඉදිවෙයි කියලා”
මේ සිටින්නේ කවුදැයි ඇසුවොත් ඔබ නිසැකවම පිළිතුරු දේවි. ඔබ හරි ! මේ සිටින්නේ සුප්රසිද්ධ බොලිවුඩ් නළුනිළි දෙපළක් වන දීපිකා පාදුකෝන් සහ ඇගේ ආදරණීය වල්ලභ රන්වීර් සිංග්.
පසුගියදා දීපිකා පාදුකෝන් වෙත උදාවූයේ ඇගේ වෘත්තිමය ජීවිතයට බොහෝ වැදගත් අවස්ථාවක්. ඒ සුප්රසිද්ධ ඇමරිකන් වෝග් සඟරාවේ මුල් පිටුවට පෙනීසිටීමේ අවස්ථාවක්. ඒ තනිවම නොවේ සුප්රසිද්ධ ඇවෙන්ජර්ස් සිනමා සිත්තමේ නිළි ස්කාලට් ජොන්සන් හා දකුණු කොරියානු ජාතික සිනමා නිළි ඩූනා බේ සමගයි. ඉන්දියන් වෝග් සඟරාවේ මුල් පිටුවට පෙනී සිටි ඇයට ඇමරිකානු වෝග් සඟරාවට පෙනී සිටීමට ලැබීම බොහෝ වටිනා අවස්ථාවක් වී තිබුණා.
එම ඡායාරූ ලබාගැනීම සඳහා ලන්ඩනයට පැමිණි අතරතුර ඇය තවත් ස්ථානයක් නැරඹීමට ගියා. ඒ ලන්ඩනයේ මදාම් ටූසෝඩ්ස් වැක්ස් කෞතුකාගාරයයි. විවිධ සුප්රසිද්ධ චරිතවල ජීවී ප්රමාණයේ අනුරූ මෙහි සැබෑ රූ ලෙසම නිමවා තිබෙනවා. පසුගිය වසරේ මෙහි දීපිකා පදුකෝන්ගේ ද ඉතා රූමත් වැක්ස් අනුරුවක් ස්ථාපිත කළ ද ඇයට එය නැරඹීමට පැමිණීමට නොහැකි වී තිබුණා. මෙවර ලන්ඩන් සංචාරයේදී ඇය නොවරදවාම එය නැරඹීමට ගියා.
දීපිකාගේ වැක්ස් අනුරුව දැකීමෙන් ඉතා විශ්මයට පත්වූයේ ඇගේ සැමියා රන්වීර්. අනුරුව වටා ඉතා ඕනෑකමින් වට කිහිපයක් කැරකුනු රන්වීර් "මට මෙය ගෙදර ගෙන ගිය හැකිදැයි විමසා සිටියා". තම දෙමවුපියන් සමග ඉතා කුඩා කාලයේදී මෙම කෞතුකාගාරය නැරඹීමට පැමිණි ඇය ඇගේ රුව මෙහි සකසා තිබෙනු දැක ඉතා හැඟීම්බරව සතුටටත් විශ්මයටත් පත්වූ අතර ඔවුන් බොහෝ වේලාවක් එහි රැඳී සිටිමින් වැක්ස් අනුරුව සම්බන්ධව බොහෝ දේ කතා බහ කළා. ඇය එහි පැමිණෙන විට එම රුව නරඹමින් සිටි ඉන්දියානු තරුණියන් කිහිප දෙනෙකු ඇස් අදහාගත නොහැකිව විශ්මයට පත්ව ඇය වැළඳ ගනිමින් සතුට පලකළේ ඉතා හැඟීම් බරවයි.
"මා කුඩා කාලයේ දෙමවුපියන් සමග මෙහි පැමිණියා. එදා මට මේ වැක්ස් රූප පෙනුනේ ඇත්තම අය ලෙසයි. ඒත් මං කවදාවත් හිතුවේ නැහැ මාගේ රුවක් මෙහි ඉදිවෙයි කියලා. හරිම පුදුමයි මීට අවුරුදු කිහිපයකට පෙර හිටපු මම වගේමයි, මේක නම් මට තවමත් හීනයක් වගේ " පළමු වතාවට මෙම රුව සජීවීව දකිමින් දීපිකා පවසා සිටියා.
©හසිත හේරත්.