ජපානයේ ඔසාකා නුවරදී නිමාව දුටු 14 වෙනි ඔසාකා ආසියානු සිනමා උළෙලේදී (Osaka Asian Film Festival) උළෙලේ අති විශිෂ්ටතම රංගන ශිල්පියා හෝ ශිල්පිනිය වෙනුවෙන් පිරිනමන යාකුෂි මුතු සම්මානයෙන් (Yakushi Pearl Award) පිදුම් ලැබීමට අසෝක හඳගම අධ්‍යක්ෂණය කල "අසන්ධිමිත්තා" සිනමාපටයේ ප්‍රධාන කාන්තා භූමිකාවට පන පෙවූ නිල්මිණි සිගේරා පසුගිය 17 වෙනිදා සමත්වූවාය. මෙහිදී ඇය, උළෙල නියෝජනය කල සියලුම තරඟකාරී සිනමාපටයන්හී රංගනයේ යෙදුනු සියලුම රංගන ශිල්පිනියන් මෙන්ම සියලුම රංගන ශිල්පීන්ද අභිබවමින් උළෙලේ අද්විතීයම රංගනය උදෙසා වූ සම්මානයට හිමිකම්කීම කැපීපෙනුනි.
"අසන්ධිමිත්තා" සිනමාපටය වෙනුවෙන් නිල්මිණි සිගේරා ලද යාකුෂි මුතු සම්මානයත් සමග ඇය දීර්ඝ වෘත්තාන්ත සිනමාපටයක් (Long Feature Film) තුල මුදාහල රංගනය වෙනුවෙන් අන්තර්ජාතික සම්මානයකින් පිදුම් ලද 13 වෙනි ශ්‍රී ලාංකේය සිනමා නිළිය ලෙසින් වාර්තා පොත් අතරට එක්වීමට සමත්වන අතර, එසේම එකී සම්මානය 72 වසරක් ඉක්මවූ ශ්‍රී ලාංකේය සිනමා ඉතිහාසයේ දේශීය නිළියක දීර්ඝ වෘත්තාන්ත සිනමාපටයක් තුල මුදාහල රංගන විශිෂ්ටත්වය වෙනුවෙන් ලද 20 වෙනි අන්තර්ජාතික ජයග්‍රහණය වේ. එයට අමතරව සිය කුළුදුල් දීර්ඝ වෘත්තාන්ත සිනමාපට රංගනයෙන්ම ජාත්‍යන්තර සිනමා උළෙලකදී "හොඳම රංගනය" උදෙසා වූ සම්මානයකින් පිදුම් ලද පස්වන ශ්‍රී ලාංකේය සිනමා නිළිය (නිත්යවාදිනී- සරෝජා/ ප්‍රමුදි- සරෝජා/ නිම්මි - ඉරමැදියම/ සරලා- වෝටර්/ නිල්මිණි - අසන්ධිමිත්තා) ලෙසින්ද නිල්මිණි සිගේරා ඉතිහාසයට එක්වේ.
2006 වර්ෂයේදී සමාරම්භය සනිටුහන් කල ඔසාකා ආසියානු සිනමා උළෙලේදී ශ්‍රී ලාංකේය සිනමාපටයක් සම්මානනීය වූ පළමු අවස්ථාව මෙය වන අතර ,එසේම "අසන්ධිමිත්තා" සිනමාපටය අන්තර්ජාතික සම්මානයකින් පිදුම් ලද පළමු අවස්ථාවද මෙය වේ. මෙකී ජයග්‍රහණයත් සමග අසෝක හඳගම සිය සිනමා නිර්මාණයන් උදෙසා ලද අන්තර්ජාතික සිනමා සම්මාන ජයග්‍රහණය සංඛ්‍යාව 22 බවට පත්වේ. ජාත්‍යන්තර ඇගයීම් ලද නිල්මිණි සිගේරාගේ රංගන කෞෂල්‍යය රැගත් "අසන්ධිමිත්තා" සිනමාපටය අද (22 - සිකුරාදා) සිට දිවයින පුරා තිරගත වේ.
සටහන- උදිත ලක්මාල් කහඳවආරච්චි
දිවයින පුවත්පත - 2019.03.22