මට ජාතික සම්මානයක් හිමිවිය යුතුයි - කන්ගනා රනාවුත්
තමන් රංගන දායකත්වය සැපයූ “මනිකර්ණික-ජාන්සි රැජින” සිනමා කෘතියට ඉන්දීය ජාතික සිනමා සම්මානයක් හිමි නොවුණහොත් ඉන් සම්මාන උළෙලේ විශ්වසනීයත්වය පිළිබඳ ගැටළු මතු කරනු ඇතැයි බොලිවුඩ් රංගන ශිල්පිනි කන්ගනා රනාවුත් පවසයි.
පසුගිය සෙනසුරාදාට යෙදුණු ඇගේ 32 වැනි ජන්ම දින සැමරුම් උළලේ දී එරට මාධ්‍ය හමුවේ ඇය මේ බව ප්‍රකාශ කර ඇත.
කන්ගනා මින් පෙර ෆැෂන්, ක්වින් සහ තනු වෙඩ්ස් මනු රිටර්න්ස් සිනමා නිර්මාණ වෙනුවෙන් ඉන්දීය ජාතික සිනමා සම්මාන දිනාගත්තා ය. මනිකර්ණික චිත්‍රපටය සඳහා සම්මානයක් බලාපොරොත්තු වන්නේ ද යනුවෙන් මාධ්‍ය විසින් නැඟූ පැනයකට පිළිතුරු දෙමින්,
“මට හෝ මගේ මනිකර්ණික සිනමාපටයට ජාතික සම්මානයක් හිමි නොවුණොත්, එය සිනමා උළලේ විශ්වසනීයත්වය පිළිබඳ ගැටළුවක් වන නමුත් වඩා හොඳ නිර්මාණයක් දකින්න ලැබුනොත් එය මගේ එකට වඩා හොඳයි කියලා කියන්න මට පුළුවන්කමක් තියෙනවා” යනුවෙන් පැවසුවා ය.
“පසුගිය වසරේ දී තාබු මහත්මිය අන්ධාධුන් සිනමාපටය වෙනුවෙන් අති විශිෂ්ට රංගනයක් සිදු කළා. ඇයගේ රංගනය මා පුදුමයට පත් කළා.”
“මනිකර්ණික සිනමාපටයට වඩා හොඳ එකක් තියෙනවා නම් මම අනිවාර්යයෙන්ම එය අගයාවි ඒත් මම හිතන්නේ නැහැ එහෙම සිනමාපටයක් ඒවි කියලා,” යැයි වැඩිදුරටත් ඇය පැවසුවා ය.