පොත් ප්‍රකාශකයන්ගේ සංගමය ‘මාෆියා සංගමයක්’ යැයි චෝදනා
වාර්ෂිකව “කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය” සංවිධාන කරනු ලබන පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ වත්මන් ක්‍රියා පිළිවෙත මේ වනවිට ප්‍රකාශකයන්ගේ සහ ලේඛකයන්ගේ දෝෂ දර්ශනයට ලක් වී තිබේ.
ප්‍රකාශකයින්, පාඨකයින් සේම ලේඛකයින්ව ද නොසලකා හරිමින් හුදෙක් ලාභ ප්‍රයෝජන උදෙසා කටයුතු කරන බවටයි ඔවුන්ට එරෙහිව එල්ල වන චෝදනාව වන්නේ. ‘උද්ද්ධච්ඡ බාබර්ගේ කතාව’ නමින් සටහනක් තබමින් ලේඛක හා ප්‍රකාශක උපුල් ශාන්ත සන්නස්ගල පසුගියදා ඒ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබූ අතර සංහිඳ ප්‍රකාශන වෙනුවෙන් මෙවර පොත් ප්‍රදර්ශනයේ වෙළඳ කුටියක් සංගමය විසින් වෙන් කර නොමැති බවත් ඊට හේතු දැක්වීමට ද ඔවුන් අපොහොසත් වී ඇති බවත් ඔහු චෝදනා කරයි.
එසේම කිවිඳියක හා සමාජ ක්‍රියාකාරිනියක වන කල්පනා ඇම්බ්‍රෝස් සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින් පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ දෝෂ සහගත ක්‍රියා ගැන මෙලෙස අදහස් පළ කර තිබුණි,
“මාෆියා සංගමය වෙතටයි.
පොත් ප්රකාශකයින්ගේ සංගමය සහ පොත් ප්‍රකාශකයින් යනු එකක් නො ව දෙකක් බව මේ වන විට පෙනෙන්නට තිබේ. සංගමය ප්‍රකාශකයින් අභිබවා; පාඨකයින් ද ලේඛකයින් ද තුට්ටුවකට නො තකා සෑහෙන උද්දච්ච කමකින් හැසිරෙමින් සිටී.
වසරක් පාසා සෑහෙන මුදලක් සැප්තැම්බර් පොත් ප්‍රදර්ශනයට පුදන , අන්තිම වසර කීපයේ ඒ මුදලට ෂොපිං බෑග් දෙකක් පිරෙන්නටවත් පොත් නො ලද, මිල දී ගත් පොත් කියවන පාඨකයෙකු ලෙස; මෙවර පොත් ප්‍රදර්ශනයේ විකිණීමට නියමිත මවිසින් රචිත පොත් කීපයක් තිබියදී පවා එම සංගමයට කිව යුතු දෙයක් ඇත.
-මාෆියාවලට වැඩි ආයුෂ නැත.
ඒවා ක්ෂණයකින් වෙනත් ප්රවාහයන් හා විකල්පවලින් විසින් අත්පත් කර ගනී. මේ විසි එක් වන සියවස මිස අල් කැපෝන්ලා බලය පිණිස තුවක්කු පත්තු කරමින් ගිය 20 වන සියවසේ මුල් කාලයේ චිකාගෝ වීදියක් නො වේ.
- වැඩි තණ්හාව එතරම් ලස්සන හෝ හොඳ දෙයක් නො වේ. ඔබ විකුණන්නේ ලේඛකයෙකුට 10% ක් දී හෝ නො දී අයත් කර ගන්නා පොත් මිස හෙරොයින් නො වන බව ඔබට අමතක වී ඇත.
-අලුතින් ව්‍යාපාර අරඹා ගුණාත්මක පොත් පාඨකයින්ට ලබා දෙන ප්‍රකාශකයින් යනු සම තැන් ගැනීමට සුදුස්සන් මිස ඔබේ අතපල්ලෙන් වැටුණු දංකුඩු නො වේ.
-පොත් යනු BMICH එකේ සැප්තැම්බරයට තබා අතුරුදහන් කළ හැකි අමුතු ජාතියක් නො වේ. අවැසි අයට ඒවා මිලට ගන්නට දියුණු ක්‍රම ඕනෑ තරම් තිබේ.
-පොත් ප්රකාශකයින්ගේ සංගමය පවා අනිත්‍ය ය!”