ප්‍රවීන නාට්‍යවේදී ආර්.ආර්. සමරකෝන්ගේ කලා දිවියට පනස් වසරක්, කැලණි පාලම නාට්‍යයේ මැටිල්ඩා ලෙස රඟපෑ රංගන ශිල්පිනි රම්‍යා වනිගසේකරගේ රංග චාරිකාවට වසර හතළිස් පහක් සහ කැලණි පාලම නාට්‍යයට හතළිස් වසරක් සපිරීම නිමිත්තෙන් සංවිධානය වන “කැලණි පාලම 40 වසරක රංගාභිනන්දන සැමරුම් උලෙළ” ඔක්තෝබර් 26 වැනිදා සවස 3.30 ට පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබේ.
ඒ කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයීය පණිභාරත ශාලාවේ දී ය.
ප්‍රවීන රංගවේදී රවින්ද්‍ර රන්දෙණිය එදින මුලසුන හොබවන අතර නාට්‍යවේදී ආර්.ආර්. සමරකෝන්ගේ නිර්මාණවල රසාස්වාදන අංශය පිළිබඳ දේශනය ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාරත්, සාමාන්‍ය ජීවිතය සහ කැලණි පාලම අලළා දේශනය ප්‍රවීන මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්ටිත් පවත්වනු ලැබේ.
එසේම ප්‍රසන්නජිත් අබේසුරියගේ සංස්කරණයෙන් යුතුව “ආර්.ආර්. සමරකෝන් හා රම්‍යා වනිගසේකර සමඟ කැලණි පාලම හතළිස් වසරක රංගාභිනන්දය” නමින් කෘතියක් එළිදැක්වීමට ද නියමිත ය.
අදටත් බොහෝ දෙනකුගේ ආදරය හිමි වූ කැලණි පාලම පළමුවරට වේදිකා ගත කරන්නේ 78 ඔක්තෝබර් 25 වැනිදා ලුම්බිණි රඟහලේ දී ය. ඒ අනුව, 1978 වසරේ කැලණි පාලමට සහභාගී වුණු රංගන ශිල්පින් ඇතුළු සෙසු ශිල්පින් සිහි කරමින් දැනට ජිවතුන් අතර සිටින එහෙත් කලා කටයුතුවල නිරත නොවන සියලු දෙනාටත් මේ වනතෙක් එහි රඟපාන සියලු ශිල්පින්ට හා අනෙක් ශිල්පින්ටත් සම්මාන තිළිණයක් සිහිවටනයක් ලෙස එදින ලබාදීමටත් සමරකෝන් පදනමෙන් කටයුතු සුදානම් කර තිබෙනවා. එසේම ප්‍රවීන නාට්‍යවේදී ආර්.ආර්. සමරකෝන්ගේ නාට්‍යවලින් තෝරාගත් කොටස් කිහිපයකුත් එදින රඟදැක්වීමට නියමිත යි.