“විෂ දුම නිසා දිල්ලියේ ජීවත්වෙන්නේ කොහොමද කියලා හිතාගන්න බැහැ” ප්‍රියංකා චොප්රා
දරා ගත නොහැකි මට්ටමකට වායු දුෂණය ඉහළ ගොස්, අද වනවිට දුමාරයකින් වැසී තිබෙන ඉන්දියාවේ දිල්ලි අගනුවර දී රූගත කිරීම්වලට එක්වී සිටි බොලිවුඩ් රංගන ශිල්පිනි ප්‍රියංකා චොප්රා මුහුණු ආවරණයක් පැළඳගෙන සිටින ඡායාරුපයක් සිය ඉන්ස්ටග්‍රෑම් සමාජ මධ්‍යයෙහි පළ කර තිබෙනවා.
“මෙහෙ රූගත කිරීම් සිදු කරන්න හරි අමාරුයි. මේ තත්වය යටතේ මෙහෙ ජිවත්වෙන්නේ කොහොමද කියන එක දැන් හිතන්නත් අමාරුයි,” යනුවෙන් ඇය සඳහන් කරන්නේ විෂ වායු තත්වය පාලනය කිරීමට මේ වනතෙක් බලධාරීන් අපොහොසත් වීම නිසා නගරයේ එදිනෙදා කටයුතු අඩාළ වී තිබිය දී ය.
“වාතය පිරිසිදු කරන උපකරණ සහ මුහුණු ආවරණ ලබන්න අපි වාසනාවන්තයි. නිවෙස් නැති ජනතාව වෙනුවෙන් යාඥා කරන්න. හැමෝම පරිස්සමින්.”
ලොව වායු දුෂණය ඉහළම නගර අතර මුල් පෙළේ සිටින දිල්ලියේ මෙම කාලයේ දී වායු දූෂණය ඉහළ යාමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ, යාබද ප්‍රාන්තවල ගොවීන් සිය වගා බිම් ශුද්ධ කිරීම සදහා පිදුරු ආදී අවශේෂ පුළුස්සා දැමීම ය.
එසේම මීට සතියකට පමණ පෙර පැවති දීවාලි හින්දු ආගමික උත්සවය වෙනුවෙන් පුපුරුවා හරින ලද ගිනි කෙළිවලින් පිටවූ කාබන් ඩයොක්සයිඩ්, නයිට්රජන් ඩයොක්සයිඩ් සහ සල්ෆර් ඩයොක්සයිඩ් ද වායුගෝලයට එක්වීමෙන් මෙම තත්ත්වය මාරාන්තික මට්ටමකට උග්‍ර වෙයි. දිල්ලි ප්‍රාන්තය පුරා පවතින දුමාරයට රථවාහනවලින් පිටවන දුම්, කර්මාන්තවලින් පිට කරන දුම් සහ ඉදිකිරීම්වලදී ඇවිස්සෙන දූවිලි ද හේතු වී තිබේ.