සිනමාවේදිනි අනෝමා රාජකරුණා නේපාල අන්තර්ජාතික සිනමා උලෙළේ ජූරියට
තෙවැනි වරට සංවිධානය කරන නේපාල අන්තර්ජාතික සිනමා උලෙළේ(NIFF) ජූරි සභිකාවක ලෙස කටයුතු කිරීමට සිනමාවේදිනි අනෝමා රාජකරුණා අවස්ථාව හිමිකරගෙන තිබේ.
ඒ අනුව ඇය, පෙබරවාරි 13 වැනිදා ඇරඹෙන උලෙළේ කෙටි සහ වාර්තා චිත්‍රපට අංශයේ ජූරි මණ්ඩල ප්‍රධානියා ලෙස කටයුතු කිරීමට නියමිත ය. නේපාල අන්තර්ජාතික සිනමා උලෙළ පෙබරවාරි 17 දක්වා නේපාලයේ කත්මන්ඩු අගනුවරදී පැවැත්වේ.
අනෝමා රාජකරුණා, ජනවාරි 19 වැනිදා නිමාව දුටු 18 වැනි ඩකා අන්තර්ජාතික සිනමා උලෙළේ “Women Filmmakers" නම් වූ ජූරිය නියෝජනය කිරීමට පසුගියදා අවස්ථා හිමි කරගත්තා ය.
ඒ පිළිබඳව උදිත ලක්මාල් කහඳවආරච්චි තැබූ සටහනක් පහතින්,
“අනෝමා රාජකරුණා ඩකා අන්තර්ජාතික සිනමා උළෙල ජූරියේ...
මෙරට අන්තර්ජාතික සිනමා උළෙල අධ්‍යක්ෂිකාවක ලෙස කටයුතු කරන අනෝමා රාජකරුණා පෙරේදා බංගලාදේශයේදී නිමාව දුටු 18 වෙනි ඩකා අන්තර්ජාතික සිනමා උළෙලේදී ජූරි සභිකාවක ලෙස කටයුතු කිරීමට අවස්ථාව හිමිකරගත්තාය. ජනවාරි 11 සිට 19 දක්වා පැවති ඩකා උළෙලේ "Women Filmmakers" නම් වූ ජූරිය නියෝජනය කිරීමට ඇයට ඇරයුම් හිමිව තිබුනි. සාමාජිකාවන් පස් දෙනෙකුගෙන් සමන්විත වූ එම ජූරියේ සෙසු සමාජිකාවන් කැනඩාව, බංගලාදේශය, ක්‍රොඒෂියාව සහ ඉන්දියාව නියෝජනය කලහ. 1992 වර්ෂයේදී සමාරම්භය සනිටුහන් කල ඩකා අන්තර්ජාතික සිනමා උළෙලේ ශ්‍රී ලාංකිකයෙකු ජූරියක් නියෝජනය කල පළමු අවස්ථාව මෙය විය. 2006 වර්ෂයේ ඊජිප්තුවේ පැවති කයිරෝ අන්තර්ජාතික ළමා සිනමා උළෙලේදී (Cairo IFF for Children) ජූරි සමාජිකාවක ලෙස කටයුතු කරමින් අන්තර්ජාතික උළෙල ජූරි නියෝජනයේ ආරම්භය සනිටුහන් කල අනෝමා රාජකරුණා, ඩකා ජූරි නියෝජනයත් සමග, එදා මෙදා තුර ශ්‍රී ලංකාවෙන් ඉපිට පැවති අන්තර්ජාතික සිනමා උළෙලයන් තුල වැඩිම ජූරි සභාවන් සංඛ්‍යාවක් නියෝජනය කල ශ්‍රී ලාංකේය කාන්තාවන් අතර දෙවන ස්ථානයේ ස්ථානගත වීමට සමත්වූවාය. (වැඩිම කාන්තා ජූරි නියෝජනය- රංජනී රත්නවිභූෂන- අවස්ථාවන් 12 යි)
ජූරි සභිකාවක ලෙසින් අනෝමා මෙතෙක් නියෝජනය කොට ඇති අන්තර්ජාතික සිනමා උළෙලයන් (විදේශයන්හි පැවති)-
(1). International Animation & TV Programs Jury- කයිරෝ අන්තර්ජාතික ළමා සිනමා උළෙල (Cairo IFF for Children)- ඊජිප්තුව- 2015
(2). Official Jury- දකුණු ආසියානු වාර්තා සිනමාපට උළෙල ( Festival of South Asian Documentaries- FSA)- නේපාලය- 2015
(3). International & National Documentary Jury- බෝධිසත්ව අන්තර්ජාතික සිනමා උළෙල (Bodhisattva IFF)- ඉන්දියාව- 2017
(4) International Jury- ජින්ෂෙන් අන්තර්ජාතික කෙටි සිනමාපට උළෙල (Jinzhen International Short Film Festival)- චීනය- 2017
(5). International & National Documentary Film Jury (Chairman)- ස්ලෙමානි අන්තර්ජාතික සිනමා උළෙල (Slemani IFF)-ඉරාකය- 2019
(6). Women Filmmakers Jury- ඩකා අන්තර්ජාතික සිනමා උළෙල (Dhaka IFF)- බංගලාදේශය -2020”
මෙරට ආධුනික සිනමාකරුවන් දිරි ගැන්වීමට සිනමා උලෙළවල්, වැඩමුළු, සංවාද සංවිධානය කරමින්, කොළඹ කේන්ද්‍රීය සිනමාව රට පුරා රැගෙන යාම සඳහා මුලිකත්වය ගෙන ක්‍රියා කිරීම ඇතුළු දේශීය සිනමාවේ ඉදිරිය උදෙසා විශාල මෙහෙවරක් ඉටු කරන අනෝමා රාජකරුණා නම් සිනමාවේදිනියට මිරර් ආර්ට්ස් අපෙන් උණුසුම් සුබ පැතුම්!