පසුගිය ජූලි 30 වනදා කොළඹ පැවති 2023 ලංකා ප්‍රිමියර් ලීග් සමාරම්භක උත්සවයෙදී මෙරට සිටින ජනප්‍රිය ගායන ශිල්පිනියක වන උමාරා සිංහවංශඔපෙරා ශෛලියෙන් ජාතික ගීය ඉදිරිපත් කිරීමේදී සිදුවූ සිදුවීමක් මාධ්‍ය හරහා මේවනවිට සමාජ ආන්දෝලනයක් බවට පත්කර තිබේ.
එහිදී ඇතැම් ජාතික මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය මෙකී සිදුවීම ජාතික ගීය විකෘති කිරීමක් ලෙස චෝදනා කරන අතර ඒ සම්බන්ධව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් පරීක්ෂණයක් ද ආරම්භ කර ඇත.
ඒ අනුව, මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අමාත්‍යාංශය හමුවේ හෙට (3) දිනයේ පෙනී සිටින ලෙස ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ විමර්ශන කණ්ඩායම උමාරා සිංහවංශ ගායන ශිල්පිනියට දැනුම්දී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වැඩසටහන් කළමනාකරුවකුගෙන් අද (2) ප්‍රකාශයක් සටහන් කරගන්නා ලදැයි අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් 'ලංකාදීපය' ට ප්‍රකාශකර තිබේ.
මීට අමතරව මේ සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ සංගීත අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙක්ද එම විමර්ශන කණ්ඩායම විසින් අමාත්‍යාංශයට හෙට (03) කැඳවනු ලැබ සිටී. ජාතික ගීය ගායනා කළ ආකාරය සහ එහි තාලය නිවැරදි දැයි තොරතුරු දැනගැනීම සඳහා ඔහු මෙසේ කැඳවන බවද එම නිලධාරියා තවදුරටත් පවසා ඇත.
ජාතික ගීය විකෘති කර ගායනා කළා යයි කියන සිද්ධිය පිළිබඳ විමර්ශන පවත්වනු ලබන්නේ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (විමර්ශන) ධම්මික මුතුගල ඇතුළු කණ්ඩායමක් විසිනි.
ජාතික ගීය විකෘති කර ගායනා කිරීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පවත්වන ලෙස අගමැති දිනේෂ් ගුණවර්ධන රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී එන් රංජිත් අශෝක ට පසුගිය 31 වැනිදා උපදෙස් දුන්නේය. මේ පරීක්ෂණය ආරම්භ කෙරුණේ ඒ අනුවය.
මේ සිද්ධිය සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද වෙනම විමර්ශනයක් පවත්වයි.