lan englan tam

පුවත්

විමුක්තිගේ අහසින් වැටෙයි 22 සිට

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මෙරට සිනමා ලෝලීන් දිගු කාලයක් තිස්සේ තිරගත වන තුරු බලා සිටි, අන්තර්ජාතික සම්මානයෙන් පවා පිදුම් ලැබූ විශිෂ්ට චිත්‍රපටයක් නුදුරු දිනකදීම ලාංකීය සිනමා හල් කිහිපයකදී නැරඹීමට ඔබට අවස්ථාව හිමිවනවා.


ඒ විමුක්ති ජයසුන්දර විසින් අධ්‍යක්ෂණය කළ අහසින් වැටෙයි (Between 2 Worlds) වෘතාන්ත සිනමා නිර්මාණයයි.
2009 වසරේදී නිර්මාණය කළ මෙම සිනමාපටය ලෝ පුරා විවිධ ජාත්‍යන්තර සිනමා උළෙල ගණනාවකදීම තිරගත කළත්, ලංකාව තුළ එහි පුළුල් තිර ප්‍රදර්ශනයක් සඳහා අවස්ථාව ලැබුනේ නැහැ. කෙසේ වුවත්, ඊට වසර 13කට පමණ පසුව ලංකාව තුළ තෝරාගත් සිනමා හල් කිහිපයකදී අහසින් වැටෙයි (Between 2 Worlds) චිත්‍රපටයේ සීමිත දර්ශනවාර සංඛ්‍යාවක් තිරගත කිරීමට එහි නිෂ්පාදකවරුන් දැන් තීරණය කර තිබෙනවා.

ඒ අනුව එළඹෙන සැප්තැම්බර් 22 වනදා සිට කොළඹ One Galle Face පරිශ්‍රයේ පිහිටා තිබෙන PVR සිනමා සංකීර්ණයෙන් සහ මහරගම Amity Lite සිනමා ශාලාවෙන් ප්‍රේක්ෂක ඔබට මෙය රස විඳීමට පුලුවන්.
PVR සිනමා ශාලාවේ සවස 4.00 දර්ශනයත්, Amity Lite සිනමා ශාලාවේ සවස 2.30 දර්ශනයත් මෙම චිත්‍රපටයට වෙන් කර තිබෙන අතර අන්තර්ජාලය ඔස්සේ ඔබට දැන් අදාළ ටිකට්පත් වෙන් කරගත හැකියි.
අහසින් වැටෙයි (Between 2 Worlds) සිනමාපටය දිවෙන්නේ එක්තරා දිවයිනක අභ්‍යන්තර අරගල සමයකදී සිදුවන සිදුවීම් මාලාවක් වටායි. අරගලයේ රැඳී සිටින චීන ජාතික තරුණියක හා පලා යන රජිත් නැමැති පුද්ගලයා ඇයව වනාන්තරයක් තුළට රැගෙන යෑමත්, එයින් පසුව ඔවුන් දෙදෙනාට සිදුවන අහම්බකාරක සිද්ධි මාලාවත් මෙම අහසින් වැටෙයි (Between 2 Worlds) චිත්‍රපටයට පාදක වී තිබෙනවා.

චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන අහම්බකාරක තරුණයාට පණ පොවන්නේ තුසිත් ලක්නාත් විසිනුයි. ආකාස කුසුම්, සක්කාරං, ගින්නෙන් උපන් සීතල, තාත්තා, සකර්ම වැනි නිර්මාණවල එකිනෙකට වෙනස් භූමිකා ගණනාවකින් රසිකයින් හමුවට පැමිණි ඔහු වර්තමාන කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂ චරිතාංග නලුවෙක්.

චිත්‍රපටයේ චීන ජාතික තරුණියට රඟපාන්නේ Lu Huang නැමැති විදේශික කාන්තාවයි. කෞෂල්‍යා ප්‍රනාන්දු ‘කාන්ති’ගේ චරිතය නිරූපණය කරනවා. ඊට අමතරව ඩබ්ලිව් ජයසිරි, දසුන් පතිරණ, සම්පත් චාමින්ද ජයවීර, නිනෝ අරලිය, මයුර කාංචන, දනුක දිල්ෂාන්, සිසිර හෙට්ටිආරච්චි වැනි රංගන ශිල්පීන් පිරිසකුත් මෙහි රංගනයෙන් දායක වනවා.

2005 වසරේදී “සුළඟ එනු පිණිස” අධ්‍යක්ෂණය කරමින් සිනමාවට පිවිසි විමුක්ති ජයසුන්දරගේ දෙවන චිත්‍රපට අධ්‍යක්ෂණය වන්නේ මෙයයි. මෙය මෙතෙක් කල් මෙරට තුළ තිරගත නොවුනද ඔහු ඊට පසුව නිර්මාණය කළ “සුළඟ ගිනි අරන්” (2017) සහ “චත්‍රක්” (2021) සිනමාපට ද්විත්වය මෙරට සිනමා ශාලාවලදී ප්‍රදර්ශනය වුනා.

චිත්‍රපටයේ අධ්‍යක්ෂණය මෙන්ම තිර පිටපත රචනය ද විමුක්ති ජයසුන්දරගෙනි. කලා අධ්‍යක්ෂණය සිදු කර තිබෙන්නේ ලාල් හරින්ද්‍රනාත් විසිනි. දීපාල් ගුණරත්න චිත්‍රපටයේ නිෂ්පාදන කළමනාකාරවරයායි. අංග රචනය සමරසිරි කඳානගේ විසිනුත්, පසුබිම් සංගීතය ලක්ෂ්මන් ජෝසප් ද සේරම් විසිනුත් සිදු කර තිබෙනවා.

Gisele Rapp ‘අහසින් වැටෙයි’ සිනමාපටයේ සංස්කරණ ශිල්පියායි. මෙහි ඉංග්‍රීසි පිටපත පරිවර්තනය කළේ ගාමිණී වියන්ගොඩ සහ චින්තක ප්‍රනාන්දු එකතුවෙනි. රේඛීය නිෂ්පාදනය චන්දන අලුත්ගේ විසිනි. අශෝන අතාවුදහෙට්ටි – රවින්ද්‍ර තන්ත්‍රිගේ – ලක්රුවන් විතානගේ මෙම නිර්මාණයේ සහාය අධ්‍යක්ෂකවරුන් ලෙසින් සම්බන්ධ වී තිබෙනවා.

අහසින් වැටෙයි සිනමාපටයේ කැමරා අධ්‍යක්ෂණය සිදු කර තිබෙන්නේ චන්න දේශප්‍රියයි. වර්තමාන ලාංකීය සිනමාවේ ප්‍රවීණතම කැමරා අධ්‍යක්ෂකවරයෙකු වන ඔහු ඇල්බොරාදා, විජයබා කොල්ලය, නිම්නයක හුදෙකලාව, අස්වැසුම, මේ මගේ සඳයි ආදී චිත්‍රපට 30කට අධික සංඛ්‍යාවකට කැමරාකරණයෙන් සම්බන්ධ වූවා. පසුගිය දිනවල සාර්ථකව තිරගත වූ කදිර දිව්‍යරාජ සහ ක්ෂීර සාගරය කැළඹිණ චිත්‍රපටවල කැමරා අධ්‍යක්ෂණය මෙහෙය වූයේ ද චන්න දේශප්‍රිය විසිනුයි.

මෙහි නිෂ්පාදනය පිරිවැය දරන්නේ චන්දන අලුත්ගේ, අනුර සිල්වා, Nicolas Naegelen සහ Micheal Reilhac යන සිව්දෙනාගේ එකතුවෙනි.

මේ වනවිට ලෝ පුරා සිනමා උළෙල ගණනාවක් නියෝජනය කළ මෙම සිනමාපටයට අන්තර්ජාතික සම්මාන කිහිපයකුත් හිමිව තිබෙනවා. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ නිධානය (1972) සිනමාපටයට පසුව ලෝ ප්‍රකට වැනිස් ජාත්‍යන්තර සිනමා උළෙල – Venice International Film Festival නියෝජනය කළ එකම ශ්‍රී ලාංකීය සිනමාපටය ලෙස හැඳින්වෙන්නේ ද “අහසින් වැටෙයි” චිත්‍රපටයයි. 2009 වසරේ 66වන වැනිස් ජාත්‍යන්තර සිනමා උළෙලෙ හි තරඟකාරී අංශය නියෝජනය කිරීමට මෙය සමත් වුනා.

2009 වසරේ Dubai International Film Festival හිදී විශිෂ්ටතම කැමරාකරණය සඳහා වන සම්මානය හිමිවූයේ ද අහසින් වැටෙයි වෙනුවෙන් මෙහි කැමරා අධ්‍යක්ෂකවරයා වන චන්න දේශප්‍රියටයි. ඊට අමතරව
Gijon International Film Festival
Tokyo FILMeX Film Festival
Asia Pacific Screen Awards වැනි විවිධ ජාත්‍යන්තර සම්මාන උත්සව ගණනාවක් සඳහාම අහසින් වැටෙයි නිර්දේශ වූවා…

Source : http://cinema.lk/

Back to top
Go to bottom

Popular News