සුදර්ශි සම්භාවනා පිළිසඳර වැඩසටහනේ 06 වැනි කොටස පසුගිය 13 වැනිදා පැවතුණි. ප්‍රේමය නම් රාගයෙන් තොර... යන තේමාවෙන් වැලන්ටයින් දිනයට පෙර දිනයේ පැවති එම කතිකාව සිදුකළේ ගී පද රචක කුමාර ලියනගේ සහ ප්‍රවීණ සාහිත්‍යධර කේ. කේ. සමන් කුමාර විසිනි. සංගීත සැඳෑවක්ද සමගින් සිංහල සංස්කෘතික මධ්‍යස්ථානයේ සුදර්ශී නුග සෙවණේ පැවැත්වුණු කතිකාව මාතෘකාවෙන් පිටතට පැන ගිය අවස්ථාද නැතුවාම නොවේ. එහෙත් සුනිල් ආරියරත්නයන් ලියා නන්දා මාලිනිය ගැයූ ප්‍රේමය නම් රාගයෙන් තොර සඳඑළිය සේ අචින්ත්‍යයි... ගීයෙන්ම ගත් නාමික ප්‍රවේශය සමග ප්‍රධාන කථිකයන් දෙදෙනාගේ කතා අතුරින් උපුටන කිහිපයක් මෙලෙස දක්වන්නෙමු.
අපිට කියන්න බෑ රාගයෙන් තොර ප්‍රේමයක් දිගටම පවතිනවයි කියලා
- කුමාර ලියනගේ
මේ මාතෘකාව සුනිල් ආරියරත්නයන් ලියපු ගීතයට කෙලින්ම සම්බන්ධ වෙනවා. මේ අදහස නිසා මේකට විවිධ අය ප්‍රහාර එළ්ල කළා මේක මෙහෙම වෙන්න පුළුවන්ද කියලා. ප්‍රේමය රාගයෙන් තොරයිද? රාගයෙන් තොර ප්‍රේමයක් කොහේද? යනාදී වශයෙන්. මහාචාර්ය සුචරිත ගම්ලතුන් පවා දැඩි ප්‍රහාර මේකට එල්ල කළා. තාක්ෂණික වශයෙන් මේ ගීතයේ තේරුම් ගතයුතු තැනක් තියෙනවා. මේක ගතයුත්තේ රාගයෙන් තොර ප්‍රේමය සඳ එළිය සේ අචින්ත්‍යයි කියලයි මම හිතන්නේ. මේ ගීතයේ ප්රවේශයත් එක්කයි මේ ගැටුම ආවේ. රාගයත් ප්‍රේමයත් අතර මේ කතාව අපිට සාකච්ඡා කරන්න වෙන්නේ ඇයි කියන එකයි මේ කතාවේ ප්රස්තුතය. දැන් වැලන්ටයින් ඇතුළෙ තරුණ සමාජය හැසිරෙන විදිහ, මාධ්‍ය හැසිරෙන විදිය, එයින් පස්සෙ ඇති වෙන ප්රවෘත්ති අහන්න ලැබෙනවා.
ඩාවින්ගේ පරිණාමවාදයේදී ඔහු කියනවා මිනිසාගේ ඩීඑන්ඒ තුළ සියයට පහක් පමණ තිරිසන් ලක්ෂණ තියෙනවා කියලා. අවුරුදු මිලියන ගණනක් තිරිසන් ගතියේ ඉඳලා ශිෂ්ටාචාරගත වුණාට පස්සෙ අපිට ජීවත් වෙන්න වෙලා තියෙන්නෙ ප්‍රතිශතයක් විදියට ගත්තම ඉතා කෙටි කාලයක්.
ඒ අනුව ප්‍රේමය රාගයෙන් තොරද? රාගයක් නැතුව ප්‍රේමයකට පවතින්න පුළුවන්ද කියලා මම දකින්නේ මේක එක මනෝභාවයක් හැටියට අපිට ගන්න අමාරු බවයි. පුද්ලයාගේ මානසික ස්වභාවය ක්ෂණයකින් වෙනස් වෙනවා. අපිට කියන්න බෑ රාගයෙන් තොර ප්‍රේමයක් දිගටම පවතිනවයි කියලා. රාගය සහ ප්‍රේමය වෙන්කරන විෂයන් තියෙනවා. රාගයෙන් තොර ප්‍රේමයනුත් තියෙනවා, රාගය වෙනමත් තියෙනවා කියලා අපිට පිළිගන්න වෙනවා.
ලිංගික සම්බන්ධතා කියල දෙයක් නෑ. ලිංගික අවයව වෙනම ගැලවිලා ගිහිල්ලා එකතුවෙන්නෙ නැහැනේ'
- කේ. කේ. සමන් කුමාර
මුලින්ම කියන්න ඕන මම මේ මාතෘකාවට පක්ෂව කතා කරන්න යන්නෙ නැහැ. එහෙමයි කියලා මම විපක්ෂත් නැහැ. දැන් මේ සමාජෙ තියෙනවනේ හොඳ එකයි නරක එකයි කියල දෙකක්. ඒව නිකං මනින්නේ ඉස්කෝල කාලෙ තිබ්බ වාද විවාද මට්ටමෙන්. හැබැයි සත්‍ය කියන දේ විරුද්ධ පැත්තෙවත් පක්ෂ පැත්තෙවත් නෑ. ඒක ඒ දෙකම ඉක්මවා පවතින්නක්.
මාකෝස් කියලා බ්‍රසීල ජාතික නාට්‍යකරුවෙක් හිටියා. අවුරුදු හතළිස්පහයි ජීවත් වුණේ. හතළිස් පහෙන් විස්සක් හිටියෙ හිරේ. ඔහුගේ නාට්‍ය තහනම් වෙවී හිරබත් කෑවා. ඔහුගෙන් පුවත්පත් වාර්තාකරුවෙක් ප්‍රසිද්ධ ප්‍රශ්නයක් ඇහුවා. ඇයි බ්‍රසීලෙ හැමෝම වාමාංශිකයො වෙන්නෙ? දකුණෙ කවුරුත්ම නැත්තේ. මාකෝස්ගේ පිළිතුර වුණේ ඊළඟ පාර කරේ යන්නම් අනිවාර්යෙන්ම වමේ වෙන්නෝන කියන එකයි.
වර්තමානය වෙනකොට ලාංකීය දේශපාලනය තුළ වම, දකුණ ජාතික හෝ අතිශය විකල්ප නූතන කියන සියලු අය මේ ඛේදවාචකයට වගකියන්න ඕන. එහෙම කියලා මේ කණ්ඩායම් ටිකට කරන්න පුළුවන් දෙයකුත් නෑ. මොකද සියල්ල සිද්ධ වෙන්නේ ජාත්‍යන්තර න්යායපත්රයකට අනුව සහ වෙළඳපොළේ න්යායපත්රයකටයි. අවසානයේ සියල්ල තීන්දු වෙන්නේ වෙළෙඳපොළ එක්කයි. පරිගණකය, අන්තර්ජාලය, මොබයිල් ෆෝන් එක්ක අතිශය තීව්ර වෙලා තියෙනවා.
ආදරය කියන මාතෘකාවේදී කිසිම ලිංගික ඇසුරක් හෝ රොමෑන්ස් එකක් නැතුව තියෙන යාවජීව ඇඟෑලුම්කම් තියෙනවා. මේ රොමෑන්ස් හෝ ලව් කියන දේ ලෝකෙ ඇතිවෙන්නෙම අනියම් ප්‍රේමය නිසයි. කොටු පැනිල්ලෙනුයි ලෝකෙ ලව් ඇතිවුණේ. මොකද නැති එක ගැනනේ ෆැන්ටසිය ඇතිවෙන්නේ. ඊට කලින් තිබුණෙ බැඳීම්. ජීවිත කාලෙම එකට ඉන්න ඕන, මෙයා නැත්තං මං මැරෙනවා වගේ දෙයක් ලෝකෙ තිබුණෙ නැහැ.
මානව සමාජය විකාශනය වෙද්දි වීර යුගයෙන් පසුව ප්‍රේම කාව්‍ය යුගයෙදියි මේක ඇතිවෙන්නෙ. මේක සමාජගත කරන්නෙ නාට්යකාරයොයි, කාව්‍ය රචකයොයි. මම හිතන විදියට නං කසාද බඳින්න කලින් එකට ජීවත් වෙලා බැඳිය යුතුමයි. එකට ජීවත් වෙනවා කියන්නෙ ලිංගිකව හැසිරෙනවා කියන එක නෙමෙයි. ලිංගිකව එක්වීම ඒකට අදාළම නෑ. ලිංගික සම්බන්ධතා කියල දෙයක් නෑ. මනුස්සයෙක් කියලා සම්පූර්ණ එකක්නෙ තියෙන්නෙ. ලිංගික අවයව වෙනම ගැලවිලා ගිහිල්ලා එකතුවෙන්නෙ නැහැනේ.
රොමෑන්ස් කියන්නෙ හැමතිස්සෙම ලිංගිකත්වයෙන් සාපේක්ෂ සහ ස්වාධීන දෙයක්. මේ දේවල් යාන්ත්‍රික විදියට කොටු ගහලා පෙන්නන්න බැහැ. මේවා සූත්‍රයකට දාලා උත්තර දීලා පරම නිර්ණය කරන්න බැරි මාතෘකා. සමහර මගේ වයසෙ මටත් වැඩිය වැඩිමල් හොඳ මිත්‍රයො ඉන්නවා. මේ යක්කු මේ නාකි වයසෙදි එෆ්බී එකට ඇවිල්ලා නටන නැටිලි දැක්කම යාළුකං අතාරින්න හිතෙනවා. අපිට අපේ සම්ප්‍රදායෙනුත් ඉතුරු වුණේ කුණු ගොඩ. අපි පිට සම්ප්රදායන්ගෙනුත් ගන්නෙ කුණු ගොඩ.
මිනිසුන්ට තියෙන්නෙ ලොකු ප්‍රදර්ශන කාමයක්. පරිභෝජනවාදයක් නෙමෙයි. කෑව බිව්වනං අඩුම තරමේ ඒක තමුන්ගෙ ඇඟට ලැබෙන්නේ. ඒත් දැන් මිනිසා සතුටු වෙන්නේ තමන් සතුටු වෙන අයුරු අනිකා දුටු බව දැකීමෙනුයි. ලොකු හෝටල්වලින් කෑම කන්නෙ, සුපර්මාකට්වල ක්‍රෙඩිට් කාඩ්වලින් බඩු ගන්නෙ, වෙළඳ ප්‍රදර්ශනවලට ගිහින් බඩු පුරෝගන්නෙ මේ හේතුව නිසාමයි.
ඇත්තටම මේ විදිහට බැලුවාම කියන්න තියෙන්නේ ආදරය නිවාඩු ගිහින් කියලයි. නිකං ආදරේ කියල වචනයක් විතරයි තියෙන්නේ. ඇතුළක් නැහැ.
( රච්න්ත ජයවර්ධන )
සුදර්ශි සම්භාවනා පිළිසඳරෙන්