ආචාර්ය ධර්මසිරි බණ්ඩාරනායකයන් අද දිනයේ (06) සිය 64 වැනි උපන්දිනය සමරයි.
1949 ඔක්තෝබර් 06 වැනිදා උපන් ධරමසිරි බණ්ඩාරනායක යනු ශ්‍රී ලාංකික චිත්‍රපට ක්ෂේත්රයට අධ්‍යක්ෂණයෙන් සහ නාට්‍ය රචනයෙන් සමාජ සාධාරණත්වය පිළිබඳව විශිෂ්ට සලකුණු තැබූ කලාකරුවෙකි.
'හංස විලක්' සමග 1980දී සිනමාවට අවතීර්ණ වූ ඔහු තුන්වෙනි යාමය (1983), සුද්දිලාගේ කතාව (1984), බවදුක සහ බවකර්ම (1997) වැනි අභියෝගාත්මක නිර්මාණවලද නිමැවුම්කරුවා වේ.
ඒකාධිපති, මකරාක්ෂ, ධවල භීෂණ, යක්ෂාගමනය සහ ට්‍රෝජන් කාන්තාවෝ යනාදී වේදිකා නාට්‍ය බොහොමයකින් දේශපාලනයේ ඇති සංකීර්ණතාව සාකච්ඡා කළ බණ්ඩාරනායක මහතා, යූරිපිඩීස්ගේ ග්‍රීක නාට්‍යය 'ට්‍රෝජන් කාන්තාවෝ' සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් වේදිකාගත කළේය. ඒ සම්බන්ධයෙන් දේශපාලන තර්ජනවලට පවා මුහුණ දීමට ඔහුට සිදු විය.